1 සාමුවෙල් 1:10-22

1 සාමුවෙල් 1:10-22 SCV

අධික සිත් තැවුලෙන් හොඳට ම හැඬූ හන්නා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළා ය. ඈ බාරයක් වෙමින්, “අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ඔබගේ සේවිකාවගේ දුක්ඛිතකම දෙස බලා, මා මතක් කර, ඔබගේ සේවිකාව අමතක නො කර, ඔබවහන්සේ ඇයට පුතකු ලබා දෙන්නේ නම්, ඔහුගේ මුළු ජීවිත කාලයට ම මම ස්වාමින්වහන්සේට ඔහු දෙන්නෙමි. දැළි පිහියක් කිසි දින ඔහුගේ හිසට තබනු නැතැ” යි කීවා ය. ඇය ස්වාමින්වහන්සේ අබියස යාච්ඤා කරද්දී, ඒලී ඇගේ මුව දෙස බලා සිටියේ ය. හන්නා යාච්ඤා කළේ ඇගේ හදවතින් ය. ඇගේ තොල් සැලුණා විනා ඇගේ කටහඬ ඇසුණේ නැත. එබැවින් ඇය බීමත් ව සිටිතැයි සිතූ ඒලී, ඇය අමතමින්, “තව කොපමණ වේලා නුඹ බීමත් ව හැසිරෙනවා ද? නුඹේ මිදි යුෂ මතින් මිදෙන්නැ” යි කීවේ ය. හන්නා පිළිතුරු දෙමින්, “එසේ නො වෙයි මා ස්වාමිනි, මා හොඳටෝ ම දුකට පත් ස්ත්‍රියක්; මා මිදි යුෂ හෝ අන් මත්පැනක් බීලා නො වේ. මා කළේ ස්වාමින්වහන්සේ ඉදිරියේ මගේ සිත්සතන් වැගිරවීමයි. ඔබගේ සේවිකාව වන මා කමකට නැති තැනැත්තියකැයි සිතන්න එපා. මා මහත් සිත් සංතාපයෙන් හා සෝ තැවුලෙන් යුතු ව කන්නලව් කරමින් සිටියා” යි කීවා ය. එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගෙන් ඔබ ඉල්ලූ දේ ඉෂ්ට කර දෙන සේක්වා!” යි කීවේ ය. ඈ කතා කරමින්, “ඔබේ සේවිකාව වන මට ඔබ හමුවෙහි ප්‍රසාදය ලැබේවා!” යි කීවා ය. ඉන්පසු එම කාන්තාව ආපසු ගොස්, ආහාර ගත්තා ය. තවදුරටත් ඇගේ මුහුණ සෝ බරිත නො වී ය. පසු දා අරුණ උදෙන් පිබිදුණු ඔවුහු, ස්වාමින්වහන්සේ ඉදිරියේ නමස්කාර කොට, පසුව රාමාහි තම නිවස බලා පිටත් ව ගියහ. එල්කානා තම බිරිඳ වූ හන්නා සමඟ එක් වුණේ ය. ස්වාමින්වහන්සේ ඇය සිහි කළ සේක. මෙසේ නිසි කල්හි හන්නා ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. මන්ද, “ස්වාමින්වහන්සේගෙන් මම ඔහු ඉල්ලා ගතිමි” යි ඈ කීවා ය. ඇගේ ස්වාමියා වන එල්කානා තමාගේ මුළු පවුල ද කැටිව ස්වාමින්වහන්සේට වාර්ෂික යාග පූජා පුද කරන්නටත්, තම බාරය ඔප්පු කරන්නටත් නික්ම ගියේ ය. එහෙත් හන්නා ගියේ නැත. තම සැමියා ඇමතූ ඈ, “ළමයා කිරි වැරූ විගස, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටින පිණිස හා සදහට ම එහි වෙසෙන පිණිස මා ඔහු ගෙන එන්නම්” යි කීවා ය.