1 පේතෘස් 2:1-9

1 පේතෘස් 2:1-9 SCV

එබැවින් සියලු ද්වේෂ, සියලු රැවටිලි, වංකකම් හා ඊර්ෂ්‍යා ද සකල අපහාස ද දුරැලන්න. සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස, අලුත උපන් බිළිඳුන් මෙන් අමිශ්‍ර ආත්මික කිරට බෙහෙවින් ලොල් වන්න. මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුදු දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද, උන්වහන්සේට අනර්ඝ වූ ජීවමාන ගලක් බඳු තැනැත්තාණන් වෙත ඔබ ආ කල, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට පිළිගත මනා ආත්මික යාග පූජා ඔප්පු කරන ශුද්ධ වූ පූජක පන්තියක් වන පිණිස, ඔබත් ආත්මික ගෘහයක් ව ගොඩ නැගෙන ජීවමාන ගල් වැන්න. මන්ද ශුද්ධ ලියවිල්ල දක්වන්නේ මෙසේ ය: “මෙන්න, තෝරාගනු ලැබූ, අනර්ඝ කොනේ ගලක්, මම සියොනෙහි තබමි; උන්වහන්සේ තුළ විශ්වාස කරන කිසිවෙක්, ලජ්ජාවට පත් නො වේ.” මේ අනර්ඝ වටිනාකම අදහන්නා වූ ඔබට ය; එහෙත් නො අදහන්නා වූ අයට, “ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල, ප්‍රධාන කොනේ ගල බවට පත් විය.” තවද එය, “පැකිළවීමේ ගලකි, බාධාවේ පර්වතයකි.” ඔවුහු වචනයට අකීකරු ව පැකිළෙති. ඒ, ඔවුනට නියම ව ඇති පරිදි ය. එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේ ම භුක්තිය වූ ජනතාවකි.

මෙයට අදාළ වීඩියෝ

1 පේතෘස් 2:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය