1 පේතෘස් 1:1-9

1 පේතෘස් 1:1-9 SCV

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පේතෘස් වෙතින්, පොන්තස්, ගලාතිය, කප්පදෝකිය, ආසියා හා බිතිනියෙහි විසිර, විදේශී ව වෙසෙන, ආත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීම සඳහා ද උන්වහන්සේගේ ලේ ඉසිනු ලැබීම සඳහා ද පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව, තෝරාගනු ලැබූවන් වෙතයි: අනුග්‍රහයත්, සාමයත් ඔබට බෝ වේවා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය අති මහත් දයාවට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම තුළින් අපට ජීවමාන බලාපොරොත්තුවකට නව උපතක් සලසා දී ඇත්තේ, විනාශ නො වන, දූෂ්‍ය නො වන, මැලවී නො යන ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන උරුමයකට ය. අවසන් කාලයේ එළිදරවු වීමට සූදානම් ගැලවීම පැමිණෙන තෙක්, ඇදහිල්ල තුළින් දෙවියන්වහන්සේගේ බලයෙන්, උන්වහන්සේ ඔබ ආරක්ෂා කරන සේක. මේ කාරණයේදී ඔබ බෙහෙවින් ප්‍රීති ප්‍රමෝද වන්නේ, අවශ්‍ය වේ නම්, සුළු කලකට නොයෙකුත් පරීක්ෂාවලින් ඔබ ශෝකයට පත් වූවා වුව ද, ගින්නේ ලා පරීක්ෂා කළත් දිරා යන සුළු රත්රන්වලට වඩා අනර්ඝ වූ පරීක්ෂා කරන ලද ඔබගේ ඇදහිල්ලේ අව්‍යාජත්වය ඔප්පු වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශ වීමේදී එය ප්‍රශංසාවකට ද තේජසකට ද ගෞරවයකට ද හේතු වන වග දැක්වෙන පිණිස ය. ඔබ, උන්වහන්සේ දැක නැති නමුදු, උන්වහන්සේට ප්‍රේම කරති. දැන් ඔබ උන්වහන්සේ දකින්නේ නැති නමුදු, උන්වහන්සේ තුළ විශ්වාස කරමින්, කියා නිම කළ නො හැකි වූ ද තේජසින් පූර්ණ වූ ද ප්‍රීතියකින් ප්‍රමෝදවත් වෙමින්, ඔබගේ ඇදහිල්ලේ ප්‍රතිඵලය වන ඔබගේ ආත්මයේ ගැලවීම ලබමින් සිටිති.

1 පේතෘස් 1:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය