ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඔබ මා අබියස කළ ඔබේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසීමි; ඔබ ඉදි කළ මේ ගෘහයේ මගේ නාමය සදහට ම තබමින්, එය විශුද්ධ කළෙමි. මගේ ඇස් ද මගේ හදවත ද නිරන්තරයෙන් ම එහි වන්නේ ය. “ඔබ, ඔබේ පියා වූ දාවිත් කළ පරිද්දෙන්, හදවතේ අවංක භාවයෙන් ද සෘජු ව ද මා අබියස කටයුතු කරමින්, මා ඔබට අණ කරන සියල්ල කරමින්, මගේ නියෝග හා නියමයන් රක්ෂා කරන්නේ නම්, මම ඉශ්‍රායෙල්හි ඔබේ රාජකීය සිංහාසනය සදහට ම ස්ථාපිත කරන්නෙමි. එසේ කරන්නේ, ‘ඉශ්‍රායෙල්හි සිහසුන් පත් වන්නට ඔබට කිසි කලෙක මිනිසකු නැති නො වනු ඇතැ’ යි මා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ පරිද්දෙනි. “එහෙත් ඔබ හෝ ඔබේ පුතුන් හෝ මා වෙතින් ඉවත හැරී, මා ඔබට දුන් මගේ ආඥා හා නියෝග රක්ෂා නො කොට, ගොස් අන් දෙවිවරුන්ට සේවය කර, නමස්කාර කරන්නේ නම්, මා විසින් ඉශ්‍රායෙල් ජනයාට දෙන ලද දේශයෙන් ඔවුන් නෙරපා හරින්නෙමි. මගේ නාමය උදෙසා මා විසින් විශුද්ධ කරන ලද මේ ගෘහය ප්‍රතික්ෂේප කරන්නෙමි. එවිට ඉශ්‍රායෙල් ජනයා, සියලු ජනයින් අතර උපහාසයක් ද සමච්චලයට හේතුවක් ද බවට පත් වනු ඇත. මේ ගෘහය සුන්බුන් ගොඩක් වනු ඇත. ඒ අසලින් යන සියල්ලන් විස්මපත් ව, ‘මේ දේශයටත්, මේ ගෘහයටත් ස්වාමින්වහන්සේ මෙහෙම දෙයක් කළේ ඇයි?’ දැයි අසනු ඇත. එවිට මිනිසුන් පිළිතුරු දෙමින්, ‘ස්වාමින්වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට ගෙනවුත් ඇත්තේ, ඔවුන් අන් දෙවිවරුන් වැලඳ ගනිමින්, ඔවුන්ට නමස්කාර කරමින්, ඔවුන්ට සේවය කරමින්, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන්ගේ පියවරුන් ගෙන ආ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ නිසා ය’ කියා කියනු ඇතැ” යි පැවසූ සේක.
1 රාජාවලිය 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 9:3-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ