සාලමොන් රජු පණිවුඩ යවා, තීර් වෙතින් හීරාම් ගෙන්වා ගත්තේ ය. ඔහුගේ වැන්දඹු මව නෆ්තලී ගෝත්‍රික වූ අතර තීර් වැසියකු වූ ඔහුගේ පියා ලෝකඩ ශිල්පියෙක් විය. හීරාම් සකල විධ ලෝකඩ වැඩවලට නිපුණ ශිල්පියෙකි. සාලමොන් රජු වෙත ආ ඔහු තමාට පවරන ලද සියලු කාර්යයන් කර දුන්නේ ය.
ඔහු ලෝකඩ කුලුනු දෙකක් වාත්තු කළේ ය. එක් එක් කුලුනේ උස රියන් දහඅටකි. එකක වට ප්‍රමාණය රියන් දොළොසකි. ඔහු කුලුනු මුදුන් පිට තබන ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කළේ ය. ඒ එක් එක් පේකඩයක උස රියන් පහකි. කුලුනු මුදුන් පිට ඇති පේකඩවල එකට වියන ලද මල්මාලා වැඩ සහිත සිත්තම් දැලක වැඩ දමා තිබිණි. ඒ එක් එක් පේකඩය පිට ඒවා හත බැගින් තිබිණි. ඔහු කුලුනු මුදුන් පිට ඇති පේකඩවල එකට වියන ලද මල්මාලා වැඩ සහිත සිත්තම් දැල වටා, දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදී ය. ඔහු එක් එක් පේකඩයට එසේ කළේ ය. පිවිසුම් ශාලාවේ තිබූ කුලුනු මුදුන් පිට ඇති පේකඩ, මානෙල් මල්වල හැඩය ගත්තේ ය. එහි උස රියන් හතරකි. කුලුනු මුදුන් පිට ඇති පේකඩ පිට වූ සිත්තම් දැල් ළඟ වූ ගෝලාකාර හැඩැති කොටසට ඉහළින් දෙළුම් ගෙඩි දෙසියයක් වටේට තිබිණි. ඔහු දේව මාලිගයේ පිවිසුම් ශාලාව ළඟ කුලුනු දෙක සිටුවී ය. ඔහු දකුණු පස තිබූ කුලුනට යාකින් යන නම ද උතුරු පස තිබූ කුලුනට බෝවස් යන නම ද තැබී ය. පේකඩ මුදුන් මානෙල් මල් හැඩයෙන් යුතු විය. කුලුනුවල කරන්නට තිබූ කාර්යයන් මෙසේ නිම විය.
ඔහු වාත්තු ලෝහයෙන් මුහුදු තටාකය සෑදී ය. වටකුරු හැඩයට සෑදූ එහි ගැටියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා රියන් දහයකි. රියන් පහක් උස වූ එහි පරිධිය රියන් තිහකි. එහි ගැටිය යට වටේට ම රියනකට කැකිරි ගෙඩි දහයක් බැගින් විය. කැකිරි ගෙඩි මුහුදු තටාකය සමඟ ම දෙපේළියකට තනි වාත්තුවෙන් නිම කෙරිණි.
මුහුදු තටාකය, ගව රූප දොළොසක් මත පිහිටිණ. තිදෙනෙක් උතුරු දෙසට ද තිදෙනෙක් බස්නාහිර දෙසට ද තිදෙනෙක් දකුණු දෙසට ද තිදෙනෙක් නැගෙනහිර දෙසට ද මූණ ලා සිටියහ. මුහුදු තටාකය උන් පිට තිබිණ. උන්ගේ පසු ගාත් ඇතුළු පැත්තට පිහිටා තිබිණ. එහි ගනකම අත්ලකි. එහි ගැටිය කුසලාන් ගැටියක මෙන් මානෙල් මලක හැඩාකාර විය. එහි බාත් දෙදහසක් අල්ලයි.
ඔහු රඳවන දහයක් ලෝකඩින් සෑදුවේ ය. ඒ එක් එක් රඳවනයක දිග රියන් හතරකි. පළල රියන් හතරකි. උස රියන් තුනකි. ඒ රඳවන සෑදුවේ මෙසේ ය: ඒවායේ රාමුවල කෙළින් අතට පනේල සවි කොට තිබිණි. රාමු ඇතුළත පනේලවල මෙන් ම රාමුවල ද සිංහ, ගව හා කෙරුබ් රූප, වැඩ දමා තිබිණි. සිංහ හා ගව රූපවලට ඉහළින් හා පහළින් මාලා කර්ම කැටයමක් තිබිණි. ඒ හැම රඳවනයක ම ලෝකඩ රෝද හතරක් හා ලෝකඩ ඇක්සල්-කූරක් ද, වටේට මාලාකම් කැටයමෙන් යුතු ආධාරක හතරක් පිට තැබූ බේසමක් ද තිබිණි. රඳවනයේ ඇතුළත රියනක් ගැඹුරැති වෘත්තාකාර රාමුවක් සහිත විවරයක් විය. මේ විවරය වෘත්තාකාර ය. එහි පතුල රියන් එකහමාරකි. එහි විවරය වටා කැටයම් විය. රඳවනවලට ගසා තිබූ පනේල රවුම් නො ව හතරැස් ය. රෝද හතර වූයේ පනේලවලට යටිනි. රෝද සවි කරන ඇක්සල්-කූරු සිටුවනයට සවි කොට තිබිණි. ඒ එක් රෝදයක විෂ්කම්භය රියන් එකහමාරකි. එම රෝද අශ්ව-රථ රෝද වැන්න; ඇක්සල්-කූරු, රෝද-පට්ටම්, ස්පෝක් කූරු හා චක්‍ර නාභි වාත්තු කර සාදන ලදී.
ඒ එක් එක් රඳවනයේ කොන් හතරේ ආධාරක හතරක් විය. මෙම ආධාරක හා රඳවනය තනි නිමැවුමකි. රඳවනයේ මුදුනේ රියන් භාගයක් උස වෘත්තාකාර ලීස්තරයක් විය. ආධාරක හා පනේල රඳවනයේ මුදුනට සම්බන්ධ කර තිබිණි. ඔහු ආධාරක හා පනේල මතු පිට ඉඩ ඇති තැන්වල කෙරුබිම්, සිංහයින් හා ඉඳි ගස් ද වටේට මාලා කර්ම ද කැටයම් කර තිබිණි. රඳවන දහය ඔහු සෑදුවේ ඒ අයුරිනි. එක ම අච්චුවේ වාත්තු කරන ලද ඒ සියල්ල, එක ම මිම්මෙන් සහ එක ම හැඩයෙන් යුතු විය.
ඉන්පසු ඔහු ලෝකඩ බේසම් දහයක් සෑදී ය. ඒ එක් එක් බේසමට බාත් හතළිහක් අල්ලන අතර, එක් බේසමක් පළලින් රියන් හතරක් විය. රඳවන දහයෙන් එක් එක් සිටුවනයට එක් බේසමක් බැගින් තිබිණි. ඔහු රඳවන පහක් ගෘහයේ දකුණු පස ද රඳවන පහක් වම් පස ද තැබී ය. ඔහු මුහුදු තටාකය දකුණු දෙසින්, ගෘහයේ දකුණු කෙළවරේ තැබී ය. හීරාම් හැළි, හැඳි හා පාත්‍ර ද සෑදී ය. තවද හීරාම්, ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි, සාලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කළේ ය:
කුලුනු දෙක;
පාත්‍ර, කුලුනු මුදුන් පිට වූ පේකඩ දෙක; කුලුනු මුදුන් පිට වූ පේකඩවල පාත්‍ර දෙක ආවරණ කරන දැල් වැඩ යුගල,
දැල් වැඩ දෙක සඳහා දෙළුම් ගෙඩි හාරසියයක්; කුලුනු මුදුන් පිට තිබූ පේකඩවල පාත්‍ර දෙක ආවරණ කරන එක් දැල් වැඩකට දෙළුම් ගෙඩි පේළි දෙක බැගින්;
සිටුවන-තට්ටු දහය හා සිටුවන-තට්ටු මත බේසම් දහය;
මුහුදු තටාකය හා ඊට යටින් ගව රූප දොළොස.
හැළි, හැඳි, පාත්‍ර යන මේ සියලු භාණ්ඩ
සාලමොන් රජු වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ ගෘහය සඳහා හීරාම් සෑදුවේ ඔප දැමූ ලෝකඩවලිනි. රජු මේ භාණ්ඩ වාත්තු කරවූයේ යොර්දාන් මිටියාවතේ සුක්කොත් හා සාරෙතාන් අතර මැටි බිමේ ය. සාලමොන් මේ සියලු දෑවල බර නො කිරා හැරියේ ය; මන්ද ඒවා අති මහත් ගණනක් විය. එබැවින් ලෝකඩවල බර කොතෙක්දැයි නිගමන නො විණ.
සාලමොන්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ ඇති භාණ්ඩ සියල්ල ද සෑදී ය:
රන් පූජාසනය;
දේවාභිමුඛ රොටි තබන මේසය;
පවිත්‍ර රනින් සෑදූ පහන් රුක් (ඒවායින් ඇතුළු ශුද්ධස්ථානය ඉදිරිපිට දකුණු පසින් පහක් ද අනෙක් පහ වම් පසින් ද විය);
රනින් මල්, පහන් හා අඬු;
පවිත්‍ර රනින් කළ බේසම්, පහන් තිර කපන කතුරු, පාත්‍ර, දීසි, දුම් භාජන
හා ඇතුළු කුටියේ, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් හා ගෘහයේ ප්‍රධාන ශාලාවේ දොරවල් සඳහා රනින් කළ සරනේරු යන මේවා ය.
මෙසේ, ස්වාමින්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් කළ වැඩ සියල්ල නිම විය. සාලමොන් රජු, තම පියා වූ දාවිත් විසින් කැප කර තිබූ දෑ ගෙනවුත්, රිදී, රන් හා සියලු භාණ්ඩ ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාර තුළ තැන්පත් කළේ ය.