තවද වෙසඟනන් දෙදෙනෙක් රජු වෙත අවුත්, ඔහු ඉදිරියේ පෙනී සිටියහ. ඔවුන්ගෙන් එක් තැනැත්තියක් කතා කොට, “මා ස්වාමිනි, මේ ස්ත්‍රියත්, මාත් එක ම නිවසකයි වාසය කරන්නේ. ඇය මා සමඟ එම නිවසේ වාසය කරද්දී, මා දරුවකු බිහි කළා. මගේ දරුවා ඉපදී දින තුනක් ගත වූ පසු, මැය ද දරුවකු බිහි කළා. අප තනිවයි සිටියේ; අප දෙදෙනා හැර නිවසේ වෙන කිසිවකු සිටියේ නැහැ.
“රාත්‍රියේ මැයගේ දරුවා ඇගේ ඇඟට යටවී මැරුණා. මැදියමේ මෑ අවදි වී, ඔබේ දාසී වන මා නිදා සිටි බැවින් මගේ පුතු මා වෙතින් ගෙන, ඇගේ ළයෙහි හොවා, ඇගේ මළ පුතු මා ළයෙහි තැබුවා. උදයේ මා මගේ පුතුට කිරි දෙන්නට අවදි වූ කල, මෙන්න! ඔහු මැරිලා. ඒත් උදයේ හොඳින් බැලූ කල, මා බිහි කළ පුතු ඔහු නො වන වග මා දුටුවා” යි පැවසුවා ය.
එහෙත් අනෙක් තැනැත්තිය කතා කොට, “නැත! ජීවත් වන පුතු මගෙයි; මළ පුතු ඔබෙයි” කීවා ය.
එහෙත් පළමු තැනැත්තී, “නැත! මළ පුතු ඔබෙයි; ජීවත් වන තැනැත්තා මගේ” යි තරයේ කියා සිටියා ය. මෙසේ ඔවුන් දෙදෙනා රජු ඉදිරිපිට වාද කළහ.
එවිට රජු, “එක් තැනැත්තියක්, ‘මගේ පුතු ජීවත් වෙයි. ඔබේ පුතුයි මැරුණේ’ කියා ද අනෙක් තැනැත්තිය ‘නැත! ඔබේ පුතුයි මැරුණේ. මගේ පුතු ජීවත් වෙයි’ කියා” ද කියයි.
රජු ඉන්පසු, “මා වෙත කඩුවක් ගෙනෙන්නැ” යි පැවසී ය. එබැවින් ඔවුහු රජු වෙත කඩුවක් ගෙන ආහ. “පණ තියෙන දරුවා දෙකට කපා, කොටසක් එක් තැනැත්තියකට ද අනෙක අනෙක් තැනැත්තියට ද දෙන්නැ” යි ඔහු නියෝග කළේ ය.
එවිට පණ ඇති පුතුගේ මව සිය පුතු කෙරේ අනුකම්පාවෙන් පිරී, රජුට කතා කොට, “අනේ මා ස්වාමිනී, පණ ඇති දරුවා ඇයට දෙන්න. ඔහු නො මරනු මැනවි” යි කීවා ය.
එහෙත් අනෙක් තැනැත්තී, “ඔහු ඔබටවත්, මටවත් ලැබෙන්නේ නැත; ඔහු කපන්නැ” යි කීවා ය.
එවිට රජු තම තීන්දුව දෙමින්, “ජීවත් වන බිළිඳා පළමු තැනැත්තීට දෙන්න. ඔහු මරන්නට එපා; ඔහුගේ මව ඇය යැ” යි පැවසී ය.
රජු විසින් දෙන ලද තීන්දුව පිළිබඳ ඇසූ, මුළු ඉශ්‍රායෙල් ජනතාව, රජුට ගෞරව භය දැක්වූහ. මන්ද යුක්තිය ඉටු කරන පිණිස, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු සතු වග ඔවුන් දුටු බැවිනි.