1 රාජාවලිය 22:41-50

1 රාජාවලිය 22:41-50 SCV

ඉශ්‍රායෙල් රජු වූ ආහාබ්ගේ හතර වන වසරේ ආසාගේ පුත් යෙහෝෂාෆාට්, යූදාහි රජකමට පත් විය. යෙහෝෂාෆාට් රජකමට පත් වන කල ඔහු තිස්පස් වන වියේ පසු විය. ඔහු යෙරුසලමේ වසර විසිපහක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අසූබා ය. ඇය ෂිල්හීගේ දියණියයි. තම පියා වූ ආසාගේ මාර්ගවල පැවතුණු ඔහු ඉන් ඉවත් වූයේ නැත; ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබූ දේ කළේ ය. එහෙත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි. ජනයා දිගට ම එහි යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දවාලූහ. යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජු සමඟත් සාමයෙන් පසු විය. යෙහෝෂාෆාට් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ බලවත් ක්‍රියා ද ඔහුගේ යුධ වික්‍රම ද යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? ඔහු තම පියා වූ ආසාගේ රාජ්‍ය කාලයෙන් පසු දේවාලවල ඉතිරි ගණිකා පිරිමින් දේශයෙන් ඉවත් කළේ ය. එකල ඒදොම්හි රජෙක් සිටියේ නැත. පාලනය ගෙන ගියේ යුව රජෙකි. යෙහෝෂාෆාට් රත්රන් ගෙනෙන්නට ඕෆීර් වෙත යෑමට වෙළඳ නැව් තැනවී ය. එහෙත් එසියොන්-ගෙබෙර්හි දී ඒවා විනාශ වූ බැවින් ඒවාට යාත්‍රා කළ නො හැකි විය. ඒ කාලයේ ආහාබ්ගේ පුත් අහසියා, “මගේ මිනිසුන්ට ඔබගේ මිනිසුන් සමඟ යාත්‍රා කරන්නට ඉඩ දෙන්නැ” යි යෙහෝෂාෆාට්ගෙන් ඉල්ලී ය. එහෙත් යෙහෝෂාෆාට් එය ප්‍රතික්ෂේප කළේ ය. යෙහෝෂාෆාට් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු තම පියවරුන් සමඟ තම පියා වූ දාවිත් පුරයේ භූමදාන කෙරිණ. ඔහුගෙන් පසු ඔහුගේ පුත් යෙහෝරාම් රජකමට පත් විය.