1 රාජාවලිය 22:29-40
1 රාජාවලිය 22:29-40 SCV
තවද ඉශ්‍රායෙල් රජු හා යූදා රජු වූ යෙහෝෂාෆාට් රාමොත්-ගිලියාද් වෙත ගියහ. ඉශ්‍රායෙල් රජු, යෙහෝෂාෆාට් අමතා, “මම වෙස් වළාගෙන යුද්ධයට යන්නෙමි. එහෙත් ඔබ රාජ වස්ත්‍ර හැඳගන්නැ” යි පැවසී ය. මෙසේ ඉශ්‍රායෙල් රජු වෙස් වළා ගත්තේ ය. ඉන්පසු ඔවුහු සටනට ගියහ. අරාම්හි රජු තම රථාධිපතීන් තිස් දෙදෙනාට අණ දී තිබුණේ, “ඉශ්‍රායෙල් රජු සමඟ මිස, ලොකු කුඩා කිසිවකු සමඟ සටන් කළ යුතු නැත” කියා ය. රථාධිපතීන් යෙහෝෂාෆාට් දුටු කල, “සැබවින් ම මේ ඉන්නේ ඉශ්‍රායෙල් රජු යැ” යි සිතූහ. එබැවින් ඔවුහු ඔහුට පහර දෙන පිණිස හැරුණෝ ය. එහෙත් යෙහෝෂාෆාට් මොර ගැසූ කල, ඔහු ඉශ්‍රායෙල් රජු නො වන වග දුටු රථාධිපතීහු ඔහු ලුහුබැඳ යෑම නතර කළහ. එහෙත් කෙනෙක් අහම්බෙන් තම දුන්න තැත් කවා, ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ කොටස් අතරට විද්දේ ය. රජු තම රථාචාරියා අමතා, “රථය හරවාගෙන යුද්ධයෙන් පිටතට මා ගෙන යන්න. මන්ද මට තුවාල වී යැ” යි කීවේ ය. දවස පුරා ම යුද්ධය පැවතිණි. රජු ආධාර ඇතුව අරාම්වරුන්ට මුහුණ ලා රථයේ සිටවනු ලැබී ය. ඔහුගේ තුවාලයෙන් රථයේ පතුල දක්වා ලේ ගලා ගියේ ය. එදින සවස ඔහු මිය ගියේ ය. හිරු අවරට යද්දී, “හැම මිනිසකු ම තම නගරයටත්, හැම කෙනකු ම තම දේශයටත් යත්වා!” යි හමුදාව පුරා නිවේදනයක් පතළ ව ගියේ ය. එසේ රජු මිය ගියේ ය. ඔහු සමාරියට ගෙන එන ලදී. එහිදී ඔවුහු ඔහු භූමදාන කළහ. වෙසඟනන් දිය නාන සමාරියේ වූ පොකුණෙන් ඔවුහු රථය සේදූහ. එහිදී බල්ලන් ඔහුගේ ලේ ලෙව කෑවේ ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රකාශ කර තිබූ පරිද්දෙනි. ආහාබ් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඇත්දත් ඔබ්බවා ඔහු විසින් ඉදිකරන ලද මන්දිරය හා ඔහු ගොඩ නැගූ පුරවර ද ගැන ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? ආහාබ් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඉන්පසු ඔහුගේ පුත් අහසියා, ඔහු වෙනුවට රජකමට පත් විය.

