1 රාජාවලිය 18:30-39
1 රාජාවලිය 18:30-39 SCV
එවිට එලියා මුළු ජනයාට කතා කොට, “මා ළඟට එන්නැ” යි කීවේ ය. ඔවුහු ඔහු ළඟට ආවෝ ය. ගරා වැටී තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය ඔහු පිළිසකර කළේ ය. එලියා ගල් දොළොසක් ගත්තේ, “ඔබගේ නම ඉශ්‍රායෙල් වන්නේ යැ” යි යාකොබ් වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනය ලෙස ඔහුගෙන් පැවත ආ ගෝත්‍ර වංශ එකකට එක ගලක් බැගිනි. ඔහු ඒ ගල් ගෙන, ස්වාමින්වහන්සේගේ නාමයට පූජාසනයක් තනා, ඒ වටා බීජ නැළි දෙකක් අල්ලන අගලක් කැපී ය. ඔහු දර පිළිවෙළට තබා, ගොනා කැබලිවලට කපා, දර පිට තැබී ය. ඉන්පසු ඔහු ඔවුන් අමතමින්, “විශාල භාජන හතරකට වතුර පුරවා, පූජාව පිටත්, දර පිටත් වත් කරන්නැ” යි කී ය. ඔවුන් එසේ කළ විට, “යළිත් එසේ කරනු” යි ඔහු කීවේ ය; ඔවුහු නැවතත් එසේ කළහ. “තුන්වෙනි වරටත් එසේ කරන්නැ” යි ඔහු කී කල, ඔවුහු තුන් වන වරටත් එසේ කළහ. පූජාසනය වටේට වතුර ගලා ගියේ ය. අගල ද පිරුණේ ය. යාග පූජා වේලාවේදී දිවැසිවර එලියා ළඟා වී යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ ඔබ වගත්, මා ඔබේ සේවකයා වගත්, මා මේ සියල්ල කළේ ඔබගේ අණ පිට වගත් අද දවසේ දැනගනු ලැබේවා! මට පිළිතුරු දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වගත්, මේ ජනතාවගේ හදවත් යළි හරවා ගන්නේ ඔබවහන්සේ ම වගත් මොවුන් දැනගන්නා පිණිස, මට පිළිතුරු දුන මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේගේ ගින්න පතිත ව, යාග පූජාව, දර, ගල් හා පස් දවා ලූ අතර අගලේ තිබූ වතුරත් වියළවා දැමී ය. මුළු ජනයා ඒ දැක, මුණින් තලා වැටී, “ස්වාමින්වහන්සේ ම දෙවියන්වහන්සේ ය! ස්වාමින්වහන්සේ ම දෙවියන්වහන්සේ යැ!” යි මොර ගැසූහ.

