1 රාජාවලිය 17:7-15

1 රාජාවලිය 17:7-15 SCV

ටික කලකින් ඔය සිඳී ගියේ ය. ඒ, දේශයට වැසි නො ලැබුණු බැවිනි. එවිට ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණියේ ය: “දැන් නැගිට, සීදොන්හි සාරෙෆත් වෙත ගොස්, එහි නැවතී සිටින්න. ඔන්න, ඔබට ආහාර සපයන ලෙස එහි සිටින වැන්දඹු කාන්තාවකට මම අණ කළෙමි” යි ඉන් පැවසිණි. එබැවින් ඔහු නැගිට, සාරෙෆත් බලා ගියේ ය. ඔහු නගර දොරටුව වෙත ආ කල, මෙන්න, වැන්දඹු කතක් එහි දර එකතු කරමින් සිටියා ය. ඔහු ඇයට හඬ ගසා, “මට බොන්නට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ” යි ඉල්ලී ය. ඇය එය ගෙනෙන්නට යද්දී, යළි ඇය ඇමතූ ඔහු, “කරුණාකර මට රොටි කැබැල්ලකුත් ගෙන එන්නැ” යි පැවසී ය. ඇය පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා ළඟ ඇති රොටියක් නෑ, මුට්ටියක පිටි මිටකුත්, බඳුනක තෙල් ඩිංගකුත් මිස; මා මේ දර කැබැල්ලක් දෙකක් එකතු කළේ ගෙදර ගෙන ගොස්, මටත්, මගේ පුතුටත් කන්නට යමක් හදාගෙන, අප ඒවා කා ඊට පස්සෙ මැරෙන්නයි” කීවා ය. එවිට ඇය ඇමතූ එලියා, “භය වන්න එපා; ගෙදර ගොස්, ඔබ කී විදියට කරන්න. එහෙත් ඔබට ඇති දෙයින් පළමුවෙන් මට කුඩා රොටියක් සාදා, මට ගෙනැවිත් දෙන්න; ඉන්පසු ඔබටත්, ඔබේ පුතාටත් සාදා ගන්න; මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘ස්වාමින්වහන්සේ දේශය පිටට වර්ෂාව එවන දවස දක්වා, මුට්ටියේ පිටි ඉවර වන්නේවත්, බඳුනේ තෙල් අඩු වන්නේවත් නැතැ’ යි” කීවේ ය. ඈ ගොස්, එලියා ඇයට කී ලෙස කළා ය. එසේ එලියාටත්, ඇයට හා ඇගේ පවුලටත් දිනපතා ආහාර තිබුණේ ය.

1 රාජාවලිය 17:7-15 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය