1 රාජාවලිය 14:21-31

1 රාජාවලිය 14:21-31 SCV

සාලමොන්ගේ පුත් රෙහොබොවම් යූදාහි රජ ව සිටියේ ය. ඔහු රජකමට පත් වන කල හතළිස් එක් වන වියේ පසු විය. ස්වාමින්වහන්සේ ස්වකීය නාමය තබන්නට ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙන් තෝරා ගෙන තිබූ පුරවරය වන යෙරුසලමේ ඔහු දාහත් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම නාමා ය; ඇය අම්මොනීය කාන්තාවකි. යූදා ජනයා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි කළේ නපුර ය. ඔවුහු තම පාප මගින් උන්වහන්සේගේ ඊර්ෂ්‍යා සහගත කෝපය ඇවිස්සුවේ, ඔවුන්ගේ සියලු පියවරුන් කර තිබුණාටත් වඩා වැඩියෙනි. තවද ඔවුහු හැම උස් හෙලක් පිට හා අතු පතර විහිදුණු හැම ගහක් යට තමන්ට උස් තැන් පුදසුන් ද රූප ස්තම්භ ද අෂේරා කණු ද පිහිටුවා ගත්හ. දේශය තුළ දේවාල-පිරිමි ගණිකාවන් පවා සිටියහ; ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දමා තිබූ ජාතීන්ගේ සියලු පිළිකුල්කම්වල ඔවුහු ගැලුණහ. රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේ, ඊජිප්තුවේ රජු වූ ෂීෂක්, යෙරුසලමට විරුද්ධ ව ආවේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ අනර්ඝ වස්තු හා රජ මැදුරේ අනර්ඝ වස්තු රැගෙන ගියේ ය. සාලමොන් සාදා තිබූ රන් පලිහ සියල්ල ඇතුළු හැම දෙයක් ම ඔහු ගෙන ගියේ ය. එබැවින් රෙහොබොවම් රජු ඒවා වෙනුවට ලෝකඩ පලිහ සාදා, රජ මැදුරු පිවිසුම ආරක්ෂකයින්ගේ සෙන්පතීන් භාරයේ ඒවා තැබී ය. රජු ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විට, ආරක්ෂකයෝ පලිහ ඔසවාගෙන ගොස්, නැවත ඒවා ආරක්ෂක කුටිය වෙත යළි ගෙන ආහ. රෙහොබොවම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදාහි රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? රෙහොබොවම් හා යෙරොබොවම් අතරේ දිගට ම යුද්ධ පැවතිණි. රෙහොබොවම් තම පියවරුන් සමඟ සැතපුණෙන්, දාවිත් පුරයේ ඔවුන් අතරේ භූමදාන කෙරිණි. ඔහුගේ මවගේ නම නාමා ය; ඇය අම්මොනීය කාන්තාවකි. ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජකමට පත් විය.

මෙයට අදාළ වීඩියෝ

1 රාජාවලිය 14:21-31 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය