එබැවින් ස්වාමින්වහන්සේ සාලමොන්ට කතා කොට, “ඔබ මගේ ගිවිසුමත්, මා ඔබට අණ කළ මගේ නියෝගත් රක්ෂා නො කර, මෙසේ කළ බැවින්, ඇත්ත වශයෙන් ම රාජ්‍යය මම ඔබෙන් ඉරා, ඔබේ මෙහෙකරුට දෙන්නෙමි. කෙසේ වෙතත්, ඔබේ පියා වූ දාවිත් නිසා මා ඔබේ ජීවිත කාලයේදී එසේ කරන්නේ නැත. මා එය ඉරා දමන්නේ, එය ඔබේ පුත්‍රයාගේ අතේ තිබියදී ය. එසේ වුවත් මුළු රාජ්‍යය ම මා ඔහුගෙන් ඉරා දමන්නේ නැත; මගේ සේවක දාවිත් නිසාත්, මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත්, ඔහුට එක් ගෝත්‍ර වංශයක් දෙන්නෙමි” යි පැවසූ සේක.
තවද ස්වාමින්වහන්සේ සාලමොන්ට එරෙහිව එදිරිකාරයකු නැගිටෙවූ සේක. ඔහු ඒදොම් රජ පෙළපතෙන් පැවතෙන ඒදොමීය හදද් ය. පෙරදී දාවිත් ඒදොම්හි සිටියදී, මරා දමනු ලැබූවන් වළලන්නට ගිය හමුදාපති යෝවාබ්, ඒදොම් වාසී පිරිමි සියල්ලන් ගසා හෙළී ය. ඔවුන් ඒදොම්හි සියලු පිරිමින් මරා දමන තෙක්, යෝවාබ් හා සියලු ඉශ්රායෙල්වරු හය මසක් එහි නැවතී සිටියහ. එකල කොලු ගැටයකු ව සිටි හදද් තම පියාට සේවය කළ ඒදොමීය නිලධාරීන් කීප දෙනකු සමඟ ඊජිප්තුවට පලා ගියේ ය. ඔවුහු මිදියන් වෙතින් පාරාන්ට පලා ගියහ. පාරාන්හි සිටි මිනිසුන් සමඟ ඔවුහු ඊජිප්තුවට, ඊජිප්තු රජු වූ පාරාවෝ වෙත ගියහ. රජු හදද්ට නිවසක් ද ඉඩම් ද ආහාර පාන ද සපයා දුන්නේ ය.
හදද් කෙරේ ඉතා ප්‍රසන්න වූ පාරාවෝ තමාගේ ම බිරිඳ වූ තාපෙනේස් බිසවගේ සොයුරිය ඔහුට විවාහ කර දුන්නේ ය. තාපෙනේස්ගේ සොයුරිය ඔහුට පුතකු බිහි කර දුන්නා ය. ඔහුගේ නම ගෙනුබත් ය. තාපෙනේස් රජ මැදුරේදී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත්, පාරාවෝගේ ම දරුවන් සමඟ එහි වාසය කළේ ය.
දාවිත් තම පියවරුන් සමඟ සැතපුණු වගත්, හමුදාපති යෝවාබ් ද මිය ගිය වගත් හදද්ට ඊජිප්තුවේදී සැල විය. ඉන්පසු හදද් පාරාවෝ අමතා, “මගේ ම රටට පෙරළා යන්නට මට අවසර දෙන්නැ” යි පැවසී ය.
පාරාවෝ, “පෙරළා ඔබගේ රටට යන්නට ඔබට මෙහි මොනවයින් අඩුවක් දැ?” යි ඇසී ය.
“කිසිවකින් අඩුවක් නෑ. ඒත් යන්නට මට අවසර” යි පැවසී ය.
තවද දෙවියන්වහන්සේ, සාලමොන්ට එරෙහිව තවත් එදිරිවාදියකු නැගිට වූ සේක. ඒ, එලියාදාගේ පුත් රෙසෝන් ය. ඔහු තම හාම්පුතා වූ සෝබාහි රජු වූ හදද්එසෙර් වෙතින් පලා ගොස් සිටියේ ය. දාවිත් සෝබාහි හමුදාව විනාශ කළ පසු, රෙසෝන් තමා වටා මිනිසුන් එක් රැස් කර ගෙන, කැරලි කල්ලියක නායකයා බවට පත් විය. ඔවුහු දමස්කය වෙත ගොස්, එහි පදිංචි වී, රාජ්‍ය පාලන කළහ. හදද් කළ හානියට අමතරව සාලමොන් ජීවත් වූ තාක් කල් රෙසෝන්, ඉශ්රායෙල්ට සතුරු ව සිටියේ ය. මෙසේ රෙසෝන්, අරාම් පාලනය කළ අතර ඉශ්රායෙල්වරුන් පිළිකුල් කොට සැලකී ය.
නෙබාට්ගේ පුත් යෙරොබොවම් ද රජුට එරෙහිව කැරලි ගැසී ය. සාලමොන්ගේ නිලධාරියකු වූ ඔහු සෙරේදාහි එප්‍රායිම් වැසියෙකි. වැන්දඹු කාන්තාවක වූ ඔහුගේ මවගේ නම සෙරූවා ය.
ඔහු රජුට එරෙහිව කැරලි ගැසුවේ මෙසේ ය. සාලමොන් මිල්ලෝ ගොඩ නගා, තම පියා වූ දාවිත්ගේ පුරයේ පවුරු කපොල්ල වසා දැමී ය. යෙරොබොවම් සවිමත්, දක්ෂ මිනිසෙකි; ඒ යෞවන මිනිසා තමාගේ කාර්ය භාරය මැනවින් ඉටු කරනු දුටු සාලමොන්, යෝසෙප් වංශයේ බර වැඩ බාරකාරත්වයට ඔහු පත් කළේ ය.
ඒ කාලයේ පමණ යෙරොබොවම්, යෙරුසලමෙන් පිටතට ගමන් කරමින් සිටි විටෙක අලුත් කබායක් හැඳි, දිවැසිවරයෙකු වූ ෂීලෝහි අහියා අතර මගදී ඔහුට මුණගැසුණේ ය. ඔවුන් දෙදෙනා සිටියේ තනි ව ය; එළිමහන් තැනක ය. අහියා තමා ඇඟ ලා සිටි අලුත් කබාය අල්ලා කොටස් දොළසකට එය ඉරුවේ ය. ඉන්පසු යෙරොබොවම් ඇමතූ ඔහු, “කොටස් දහයක් ඔබ ගන්න; මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මෙන්න, මම සාලමොන් අතින් රාජ්‍යය පැහැර, ඔබට ගෝත්‍ර දහයක් දෙන්නෙමි.