1 රාජාවලිය 11:1-10

1 රාජාවලිය 11:1-10 SCV

සාලමොන් රජු, පාරාවෝගේ දියණියට අමතරව, විජාතික බොහෝ කාන්තාවනට එනම් මෝවබ්, අම්මොන්, ඒදොම්, සීදොන් හා හිත්තීය කාන්තාවනට ආලය වූයේ ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් අමතා, “ඔබ ඔවුන් සමඟවත්, ඔවුන් ඔබ සමඟවත් ආවාහ විවාහ නො කළ යුත්තේ, සැබවින් ම ඔවුන් ඔබගේ සිත්, ඔවුන්ගේ දෙවිවරුන් වෙත හැරවිය හැකි බැවිනි” යි කියා තිබුණේ මෙම ජාතීන් පිළිබඳව ය. එහෙත් සාලමොන් ඔවුන්ට බෙහෙවින් ආලය වූයේ ය. ඔහුට රාජ කුමාරිකා භාර්යාවන් හත්සියයක් ද අතිරේක භාර්යාවන් තුන්සියයක් ද වූහ. ඔහුගේ භාර්යාවරු ඔහුගේ හද මුළා කළහ. සාලමොන් වයසින් වැඩෙද්දී, ඔහුගේ භාර්යාවන් ඔහුගේ හදවත අන් දෙවිවරුන් වෙත හැරවූයෙන්, ඔහුගේ හදවත ඔහුගේ පියා වූ දාවිත්ගේ හදවත මෙන් ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මුළුමනින් කැප ව නො තිබිණි. ඔහු සීදොන්වරුන්ගේ දේවතාවී වන අෂ්තොරෙත් හා අම්මොන්වරුන්ගේ පිළිකුල් දෙවියා වන මිල්කොම් අනුගමනය කළේ ය. එසේ සාලමොන් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු ව තිබූ දේ කළේ ය; ඔහු තම පියා වූ දාවිත් මෙන් මුළුමනින් ස්වාමින්වහන්සේ අනුගමනය කළේ නැත. යෙරුසලමට නැගෙනහිර කන්දේ සාලමොන් මෝවබ්ගේ පිළිකුල් දෙවියා වන කෙමොෂ්ටත්, අම්මොන්ගේ පිළිකුල් දෙවියා වන මොලෙක්ටත් උස් තැන් පූජාසනයක් ඉදි කළේ ය. තම තමන්ගේ දෙවියනට සුවඳ දුම් දැවූ, යාග පූජා පිදූ විදෙස් භාර්යාවන් හැම දෙනාට ඔහු එලෙස සාදා දුන්නේ ය. දෙවරක් තමන්ට පෙනුණු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙන් ඔහුගේ හදවත ඉවත හැරී තිබූ බැවින්, ස්වාමින්වහන්සේ සාලමොන් සමඟ කෝප වූ සේක. අන් දෙවිවරුන් අනුව නො යන්නැයි සාලමොන්ට ස්වාමින්වහන්සේ අණ කර තිබූ නමුදු, ඔහු උන්වහන්සේගේ අණ රක්ෂා කළේ නැත.