1 රාජාවලිය 10:1-9
1 රාජාවලිය 10:1-9 SCV
සාලමොන්ගේ කීර්තියත්, ස්වාමින්වහන්සේට ඇති ඔහුගේ සබඳතාවත් ගැන ඇසූ, ෂෙබායේ රැජින, අසීරු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය. ඇය යෙරුසලමට පැමිණියේ සුවඳ ද්‍රව්‍ය ද විශාල ප්‍රමාණයක් රත්රන් ද අනර්ඝ මැණික් ගල් ද පැට වූ ඔටුවන් සහිත විශාල තවලමක් සමඟ ය. සාලමොන් හමුවට පැමිණි ඈ, ඇගේ සිතේ තිබූ සියල්ල ඔහුට පැවසුවා ය. සාලමොන් ඇගේ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සැපයී ය; ඇයට පහදා දෙන්නට අපහසු වූ කිසිවක් රජුට නො වී ය. ෂෙබායේ රැජින, සාලමොන්ගේ සියලු ප්‍රඥාව ද ඔහු ඉදිකර තිබූ මන්දිරය ද ඔහුගේ මේසය මත වූ ආහාර ද ඔහුගේ නිලධාරීන්ගේ අසුන් ගැනීමේ පිළිවෙළ ද ඔහුගේ මෙහෙකරුවන්ගේ මෙහෙය හා ඔවුන්ගේ නිල ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ස්වාමින්වහන්සේගේ ගෘහයේදී ඔහු ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල, තූෂ්ණීම්භූත වූවා ය. ඈ රජු අමතමින්, “ඔබ ඉටු කර ඇති දෑ හා ඔබගේ ප්‍රඥාව පිළිබඳව මගේ රටේදී මා ඇසූ පුවත් සැබෑයි. එහෙත් මා අවුත්, මගේ ම ඇස්වලින් දකින තුරු ඒ පුවත් මා විශ්වාස කළේ නෑ. ඇත්තෙන් ම එයින් අඩක්වත් මට කියා නැත. ඔබේ ප්‍රඥාවත්, වත්-පොහොසත්කමත් මා අසා තිබුණාට වඩා බොහෝ වැඩි ය. ඔබගේ ජනයා කොපමණ භාග්‍යවත් ද! නිති පතා ඔබ අබියස සිට, ඔබේ ප්‍රඥාව අසන ඔබේ සේවකයින් කොපමණ භාග්‍යවත් ද! ඔබ කෙරේ ප්‍රසාදයෙන් ඉශ්‍රායෙල් සිහසුනේ ඔබ හිඳ වූ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්ට සදහට ම ප්‍රේම කළ බැවින්, යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වාගෙන යෑමට ඔබ රජකමට පත් කළ සේකැ” යි පැවසුවා ය.

