1 යොහන් 2:18-28
1 යොහන් 2:18-28 SCV
දරුවනි, මේ අවසාන පැයයි. ව්‍යාජ-ක්‍රිස්තුස් ගැන ඔබ අසා ඇති පරිදි, දැනට ම ව්‍යාජ-ක්‍රිස්තුවරු බොහෝ දෙනෙක් පැමිණ සිටිති. මේ අවසන් පැය බව අප දන්නේ එනිසා ය. ඔවුන් අප වෙතින් පිටත් ව ගොසින් ය, එහෙත් ඔවුන් අපේ අය නො වේ. ඔවුන් අපේ අය වූවා නම්, දිගට ම අප සමඟ සිටිය යුතු ව තිබිණි, එහෙත් ඔවුන් පිටත් ව ගොසිනි; ඔවුන් හැම අපේ අය නො වන වග එයින් පැහැදිලි ය. එහෙත් ඔබ, ශුද්ධ තැනැන්වහන්සේගෙන් ආලේපය ලබා ඇත; ඔබ හැමට දැනගැන්ම ඇත. මා ඔබට ලියන්නේ ඔබ සත්‍යය නො දන්නා නිසා නො වේ. ඔබ එය දන්නා නිසා ය. මන්ද සත්‍යයේ කිසි බොරුවක් නැත. බොරුකාරයා කවුරු ද? යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ ය යන්න ප්‍රතික්ෂේප කරන්නා ය. ව්‍යාජ-ක්‍රිස්තුස් මොහු ය; පියාණන්වහන්සේ ද පුත්‍රයාණන්වහන්සේ ද ප්‍රතික්ෂේප කරන්නා ය. පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන කවරකුටවත් පියාණන්වහන්සේ ද නැත. පුත්‍රයාණන් පිළිගන්නා කවරකුට වුව ද, පියාණන්වහන්සේ ද ඇත. මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතීවා; මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතිනවා නම්, එවිට ඔබ පුත්‍රයාණන්වහන්සේත්, පියාණන්වහන්සේත් තුළ පැවත සිටී. උන්වහන්සේ අපට වූ පොරොන්දුව මෙයයි; එනම්, සදාතන ජීවනයයි. මා මේ ඔබට ලියන්නේ, ඔබ රවටන්නට උත්සාහ කරන්නවුන් ගැනයි. එහෙත් උන්වහන්සේගෙන් ඔබ ලැබූ ආලේපය ඔබ තුළ පැවත සිටී; එනිසා අන් කෙනකුගේ ඉගැන්වීමක් ඔබට අවශ්‍ය නැත. උන්වහන්සේගේ ඒ ආලේපය, හැම දෙයක් ගැන ම ඔබට උගන්වන ලෙස, එය සත්‍යය ය; බොරුවක් නො වේ; එය ඔබට ඉගැන් වූ පරිදි උන්වහන්සේ තුළ පැවත සිටින්න. දැන්, ප්‍රිය දරුවනි, උන්වහන්සේ තුළ පැවත සිටින්න, එවිට උන්වහන්සේ නැවත පෙනෙන්නට එන කල, අපට නිසැක විශ්වාසය තිබෙන පිණිසත්, උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ ඉදිරියේ ලජ්ජාවට පත් නො වන පිණිසත් ය.

