1 යොහන් 1:1-9

1 යොහන් 1:1-9 SCV

පටන් ගැන්මේ සිට තිබූ, අප අසා ඇති, අපේ ඇස්වලින් අප දුටු, අප බැලූ, අපේ අත්වලින් අප ඇල්ලූ ජීවනයේ වචනයාණන් සම්බන්ධ ව ය. එම ජීවනය පැහැදිලි ව දක්වන ලදී; අපි එය දුටුවෙමු. එබැවින් අපි ඒ ගැන සාක්ෂි දෙමින්, පියාණන්වහන්සේ සමඟ සිටියා වූ, අපට දක්වනු ලැබූ සදාතනික ජීවනය ගැන ඔබට ප්‍රකාශ කරන්නෙමු. අප ඇසූ, අප දුටු ඒ දෑ අප ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබත් අප සමඟ පංගුකාර වන පිණිස ය. අපේ පංගුකාරකම පියාණන්වහන්සේ සමඟ හා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ය. අප මෙය ලියන්නේ අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය. උන්වහන්සේගෙන් අප ඇසූ, අප ඔබට ප්‍රකාශ කරන පණිවුඩය මෙයයි: දෙවියන්වහන්සේ ආලෝකය ය; කිසි ම අන්ධකාරයක් උන්වහන්සේ තුළ නැත. අප අන්ධකාරයේ ඇවිදිමින්, අපේ සහභාගිත්වය උන්වහන්සේ සමඟ ය කියනවා නම්, අප කියන්නේ බොරු ය; සත්‍යයෙහි පැවතීමක් ද නැත. එහෙත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නා සේ, අපත් ආලෝකයේ හැසිරෙනවා නම්, එකිනෙකා සමඟ සහභාගිත්වයක් අපට ඇත. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස්වහන්සේගේ ලෙය, හැම පාපයකින් අප පවිත්‍ර කරයි. අපට පව් නැතැයි අප කියනවා නම්, අපි අප ම රවටා ගනිමු; සත්‍යය ද අප තුළ නැත. අප, අපගේ පාප, පාපොච්චාරණ කරනවා නම්, අපගේ පාප කමා කරන්නටත්, අපගේ සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසී ය; යුක්ති සහගත ය.