1 කොරින්ති 9:1-15

1 කොරින්ති 9:1-15 SCV

මා නිදහස් කෙනෙක් නො වේ ද? මා අපෝස්තුලුවරයෙක් නො වේ ද? මා, යේසුස් අප ස්වාමින්වහන්සේ දුටුවේ නැති ද? ස්වාමින්වහන්සේ තුළ මගේ නිර්මාණය ඔබ නො වෙත් ද? අන් අයට මා අපෝස්තුලුවරයකු නො වූව ද, ඔබට මා අපෝස්තුලුවරයෙකි; මන්ද ස්වාමින්වහන්සේ තුළ මගේ අපෝස්තුලුකම සහතික කරන මුද්‍රාව ඔබ ය. මා විභාග කරන්නට කැමති අයට මගේ නිදහසට උත්තරය මෙයයි. කෑමට හා බීමට අපට අවසර නැද්ද? සෙසු අපෝස්තුලුවරුන් ද ස්වාමින්වහන්සේගේ සහෝදරයින් හා කේපස් ද මෙන් ඇදහිලිවත් භාර්යාවක කැටිව යන්නට අයිතිය අපට නැද්ද? නැතහොත් යැපීම් සඳහා වැඩ කිරීමෙන් වැළකී සිටීමට අයිතිය නැත්තේ බාර්ණබස්ට හා මට පමණක් ද? කොයි කලෙකවත් තමාගේ ම වියදමින් හමුදා සෙබලකු සේ සේවය කරන්නේ කවුරු ද? එහි පල භුක්ති නො විඳ මිදි වත්තක් වවන්නේ කවුරු ද? නැතහොත් කිරි ගන්නේ නැතිව බැටළුවන් රැක බලා ගන්නේ කවුරු ද? මා මේ දෑ කියන්නේ මිනිස් මතයට අනුව පමණක් ද? ව්‍යවස්ථාවේත් මේ දේ ම නො කියා ද? මන්ද: “ගොයම් මඩින කල, ගවයාගේ කට නො බඳිනු” යි මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියැවී තිබේ. දෙවියන්වහන්සේ සැලකිලිමත් වනුයේ ගවයින් ගැන ද? උන්වහන්සේ එසේ පවසා ඇත්තේ, මුළුමනින් ම අප උදෙසා නො වේ ද? එය ලියා ඇත්තේ අප උදෙසා ම ය. මන්ද සී සාන්නා සී-සෑ යුත්තේත්, ගොයම් මඩින්නා ගොයම මැඩිය යුත්තේත් අස්වැන්නට පංගුකාර වීමේ බලාපොරොත්තුවෙනි. අපි ඔබ අතරේ ආත්මික දෑ වපුළෙමු නම්, ඔබ වෙතින් ද්‍රව්‍යමය දෑ නෙළා ගැනීම මහ දෙයක් ද? ඔබගෙන් මේ අයිතියට වෙනත් අය පංගුකාර වේ නම්, ඊට වඩා වැඩි අයිතියක් අපට නැති ද? කෙසේ වෙතත්, අප ඒ අයිතියෙන් ප්‍රයෝජන ගත්තේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට බාධකයක් වීමට වඩා, හැම දෙයක් ම අපි විඳ දරා ගන්නෙමු. දේව මාලිග සේවයේ යෙදෙන්නන්, දේව මාලිගයෙන් ම ආහාර ලබන බවත්, පූජාසනයේ ආවතේව කරන්නන්, යාග පූජාවලින් කොටසක් ලබන බවත් ඔබ දන්නේ නැති ද? එලෙස ම, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්, ශුභාරංචිය මගින් ම සිය ජීවිකාව සලසා ගත යුතු බව ස්වාමින්වහන්සේ ම ආඥා කර ඇත. එහෙත් ඒ කිසිදු අයිතියක් මා ප්‍රයෝජනයට ගත්තේ නැත. ඒ කළමනා කිසිවක් ඔබෙන් ලබා ගැනීමේ අදහසින් මෙසේ ලියනවා ද නො වේ. මට ඇති ඒ පාරට්ටුව යමකු මට අහිමි කරනවාට වඩා මා මැරෙනවා හොඳ ය.