1 කොරින්ති 2

2
1සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණි කල, මා ආවේ දෙවියන්වහන්සේගේ සාක්ෂිය, උදාර කථිකත්වයකින් හෝ ප්‍රඥාවකින් ප්‍රකාශ කරමින් නො වේ. 2මන්ද ඔබ අතර සිටියදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේත්, උන්වහන්සේ කුරුසිපත් වීමත් මිස, අන් කිසිවක් නො දැන සිටින්නට මම තීරණ කර සිටියෙමි. 3මා ඔබ සමඟ සිටියේ දුබලතාවෙන්, බයින් හා අධික තැතිගැන්මෙන් යුතු ව ය. 4මගේ කතාව හා මගේ පණිවුඩ, ප්‍රඥාවේ සිත් පොලඹවන වචනවලින් නො ව, ආත්මයාණන්ගේ හා බලයේ ක්‍රියාකාරී සාධක මගින් ප්‍රකාශ වූවේ, 5ඔබගේ ඇදහිල්ල මිනිස් ප්‍රඥාවෙන් නො ව, දෙවියන්වහන්සේගේ බලයෙන් පිහිටන පිණිස ය.
ආත්මයාණන්වහන්සේ මගින් එළිදරවු වන දෙවියන්වහන්සේගේ ප්‍රඥාව
6එසේ වුව ද පරිණතවූවන් අතරේ අපි ප්‍රඥාව කතා කරන්නෙමු. එය, මේ වත්මන් යුගයේ හෝ මතු අහෝසි වන මේ යුගයේ බලධාරීන්ගේ ප්‍රඥාවක් නො වේ. 7අප කතා කරන්නේ අපගේ තේජස උදෙසා දෙවියන්වහන්සේ යුග යුගවලට කලින් නියම කරන ලද දෙවියන්වහන්සේගේ රහසිගත අබිරහස් ප්‍රඥාව ය. 8මේ යුගයේ බලධාරීන්ගෙන් කිසිවකු එය වටහා ගත්තේ නැත. මන්ද, ඔවුන් එය වටහා ගත්තා නම්, ඔවුන් තේජසේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන්නේ නැත. 9එහෙත් ලියවී ඇති පරිදි:
“තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පිළියෙල කළ දෑ,
කිසි ඇසකට නො පෙනිණි;
කිසි කනකට නො ඇසිණි;
කිසි සිතකට නො සිතිණි.”#2:9 යෙසා 64;4
10එහෙත් දෙවියන්වහන්සේ මේ දෑ ආත්මයාණන්වහන්සේ මගින් අපට එළිදරවු කළ සේක.
මන්ද, ආත්මයාණන්වහන්සේ සියලු දේ ම, එනම් දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණු පවා විමසන සේක. 11මනුෂ්‍යාගේ සිතුවිලි ඔහු තුළ ඇති ඔහුගේ ම ආත්මය මිස අන් කවරෙක් දනිත් ද? එලෙස ම දෙවියන්වහන්සේගේ සිතුවිලි උන්වහන්සේගේ ආත්මයාණන් හැර, අන් කිසිවකු දන්නේ නැත. 12දැන් අප ලබා ඇත්තේ ලෝකයේ ආත්මය නො වේ. දෙවියන්වහන්සේ ත්‍යාගවත් ව අපට දෙන ලද දෑ වටහා ගන්නා පිණිස, දෙවියන්වහන්සේ වෙතින් වූ ආත්මයාණන් ය. 13අප මේ දෑ පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උගන්වන ලද වචනවලින් නො ව, ආත්මික වූ දෑ ආත්මික සත්‍යතා හා සසඳමින්, ආත්මයාණන්වහන්සේ විසින් උගන්වන ලද වචනවලිනි. 14ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වෙතින් එන දෑ පිළිගන්නේ නැත. ඒවා ඔහුට අඥානකම් ය. මන්ද ඒවා ආත්මික ව විමසා බැලිය යුතු වන බැවින්, ඒ දෑ ඔහුට වටහා ගත නො හැක. 15ආත්මික තැනැත්තා සියලු දේ විනිශ්චය කරයි. එහෙත් කිසිවකු විසින් ඔහු විනිශ්චය කරනු නො ලබයි. 16මන්ද,
“උන්වහන්සේට උපදෙස් දෙන පිණිස
ස්වාමින්වහන්සේගේ සිත දැනගත්තේ කවුරු ද?”#2:16 යෙසා 40;13
එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ සිත අපට තිබේ.

දැනට තෝරාගෙන ඇත:

1 කොරින්ති 2: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න