සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණි කල, මා ආවේ දෙවියන්වහන්සේගේ සාක්ෂිය, උදාර කථිකත්වයකින් හෝ ප්‍රඥාවකින් ප්‍රකාශ කරමින් නො වේ. මන්ද ඔබ අතර සිටියදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේත්, උන්වහන්සේ කුරුසිපත් වීමත් මිස, අන් කිසිවක් නො දැන සිටින්නට මම තීරණ කර සිටියෙමි. මා ඔබ සමඟ සිටියේ දුබලතාවෙන්, බයින් හා අධික තැතිගැන්මෙන් යුතු ව ය. මගේ කතාව හා මගේ පණිවුඩ, ප්‍රඥාවේ සිත් පොලඹවන වචනවලින් නො ව, ආත්මයාණන්ගේ හා බලයේ ක්‍රියාකාරී සාධක මගින් ප්‍රකාශ වූවේ, ඔබගේ ඇදහිල්ල මිනිස් ප්‍රඥාවෙන් නො ව, දෙවියන්වහන්සේගේ බලයෙන් පිහිටන පිණිස ය. එසේ වුව ද පරිණතවූවන් අතරේ අපි ප්‍රඥාව කතා කරන්නෙමු. එය, මේ වත්මන් යුගයේ හෝ මතු අහෝසි වන මේ යුගයේ බලධාරීන්ගේ ප්‍රඥාවක් නො වේ. අප කතා කරන්නේ අපගේ තේජස උදෙසා දෙවියන්වහන්සේ යුග යුගවලට කලින් නියම කරන ලද දෙවියන්වහන්සේගේ රහසිගත අබිරහස් ප්‍රඥාව ය. මේ යුගයේ බලධාරීන්ගෙන් කිසිවකු එය වටහා ගත්තේ නැත. මන්ද, ඔවුන් එය වටහා ගත්තා නම්, ඔවුන් තේජසේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන්නේ නැත. එහෙත් ලියවී ඇති පරිදි: “තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පිළියෙල කළ දෑ, කිසි ඇසකට නො පෙනිණි; කිසි කනකට නො ඇසිණි; කිසි සිතකට නො සිතිණි.” එහෙත් දෙවියන්වහන්සේ මේ දෑ ආත්මයාණන්වහන්සේ මගින් අපට එළිදරවු කළ සේක. මන්ද, ආත්මයාණන්වහන්සේ සියලු දේ ම, එනම් දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණු පවා විමසන සේක. මනුෂ්‍යාගේ සිතුවිලි ඔහු තුළ ඇති ඔහුගේ ම ආත්මය මිස අන් කවරෙක් දනිත් ද? එලෙස ම දෙවියන්වහන්සේගේ සිතුවිලි උන්වහන්සේගේ ආත්මයාණන් හැර, අන් කිසිවකු දන්නේ නැත. දැන් අප ලබා ඇත්තේ ලෝකයේ ආත්මය නො වේ. දෙවියන්වහන්සේ ත්‍යාගවත් ව අපට දෙන ලද දෑ වටහා ගන්නා පිණිස, දෙවියන්වහන්සේ වෙතින් වූ ආත්මයාණන් ය.
1 කොරින්ති 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 කොරින්ති 2:1-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ