1 කොරින්ති 16

16
ස්වාමින්වහන්සේගේ ජනයා උදෙසා සම්මාදමක්
1දැන්, ශුද්ධවතුන්ට සම්මාදම් ගැන: මා ගලාතියෙහි සභා යොමු කළ දෑට ඔබත් යොමු වන්න. 2මා ආ කල, සම්මාදම් එකතු කරන්නට සිදු නො වන පිණිස, හැම සතියකම පළමු දින ඔබ හැම කෙනකු ම, තම ලැබීම් අනුව කොටසක් වෙන් කර, එකතු කර තබන්න. 3මා ආ කල, ඔබේ ඒ දීමනා, රැගෙන යෑමට සුදුස්සන් යයි ඔබේ අනුමැතිය ලද්දවුන්, ලිපි සමඟ යෙරුසලමට යවන්නෙමි. 4ඒ ගමනට මගේ යෑම ද යෝග්‍යයැයි පෙනේ නම්, ඔවුන් මා සමඟ යනු ඇත.
පුද්ගලික ඉල්ලීම්
5මකිදෝනිය හරහා යෑමට මා අදහස් කර සිටින නිසා, මකිදෝනිය හරහා ගිය පසු, ඔබ වෙත එන්නෙමි. 6පසුව මා කොතැනකට යතත්, මගේ ගමනට ඔබේ උපකාරය ලැබෙන පිණිස, ඇතැම් විට මද කලක් හෝ ශීත සෘතුව ම, ඔබ හා නවතින්නට මට හැකි වෙයි. 7දැන් ම පැමිණ යන්තම් ගොඩවැදී යෑමට කැමැත්තක් නැති බැවින්, ස්වාමින්වහන්සේ අවසර දෙන සේක් නම්, කලක් ඔබ හා නැවතී සිටීම මගේ බලාපොරොත්තුවයි. 8කෙසේ වෙතත් පෙන්තකොස්තය දක්වා මම එපීසයෙහි ගත කරමි. 9මන්ද මහත් පලදායි සේවාවකට පුළුල් දොරක් මට ඇරී තිබේ. බොහෝ විරුද්ධවාදීහු ද මෙහි වෙති.
10තිමෝති ඇවිත් ඔබ අතර සිටින අතර තුර, අපහසුතාවක් නැතිව සිටින්නට ඔහුට ඉඩ සලසන්න; මන්ද ඔහු කරන්නේ ද මා මෙන් ම ස්වාමින්වහන්සේගේ වැඩයි. 11එබැවින් කිසිවකු ඔහු සුළු කොට නො සලකත්වා; මා වෙත සාමයෙන් ආපසු එන පිණිස, ඔහුගේ ගමනට උපකාර කරන්න; සෙසු සහෝදරයින් සමඟ ඔහුගේ පැමිණීම මම බලාපොරොත්තුව සිටිමි.
12දැන්, අප සහෝදර අපොල්ලොස් ගැන: අනෙක් සහෝදරයින් සමඟ ඔබ වෙත එන්නැයි මා ඕනෑකමින් ඉල්ලා සිටියත්, දැන් ම ඒමට ඔහු කොහෙත් ම කැමති නැත. එහෙත් ඉඩ ලැබුණු කල ඔහු එනු ඇත.
13කල්පනාකාරී ව සිටින්න; ඇදහිල්ලේ නො සැලී සිටින්න; පුරුෂයින් සේ ක්‍රියා කරන්න; ශක්තිමත් වන්න. 14ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් යුතු ව කරන්න.
15අකායයෙන් මුලින් ම හැරුනවුන් වන්නේ ස්තේපනස් පවුල බවත්, ශුද්ධවතුන්ගේ සේවයට ඔවුන් කැමැත්තෙන් කැප වූ බවත් ඔබ දනිති. එබැවින් සහෝදරයිනි, මා උදක් ම ඔබෙන් ඉල්ලන්නේ, 16එවැන්නවුනට හා ඔවුන් සමඟ වැඩට සහාය වන්නන්ට හා වෙහෙස වන්නන්ට යටත් වන ලෙසයි. 17ස්තේපනස්, පොර්තුනාතුස් හා අකයිකස් යන අයගේ පැමිණීම ගැන මම ප්‍රීති වෙමි. මන්ද ඔබට නො හැකි වූ දේ ඔවුන්ගෙන් ලැබිය හැකි වූ හෙයිනි. 18මන්ද ඔවුහු මගේ මෙන් ම ඔබේ ආත්මය ප්‍රබෝධවත් කළහ. මෙවැන්නන් අගේ කොට සලකන්න.
අවසන් ශුභාශිංසනය
19ආසියාවේ සභා ඔබට ආචාර කරති.
අකිලා හා ප්‍රිස්කා ඔවුන්ගේ නිවසේ සභාව සමඟ ස්වාමින්වහන්සේ තුළ ඔවුන්ගේ උණුසුම් ආචාරය ඔබට එවති.
20සහෝදර සැවොම ඔබට ආචාර කරති.
ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න.
21මම පාවුල්, මගේ ම අතින් මේ ආචාරය ලියමි.
22යමෙක් ස්වාමින්වහන්සේට ප්‍රේම නො කරනවා නම්, ඔහු ශාප ලද්දෙක් ම වේවා! අපගේ ස්වාමින්වහන්ස, එනු මැනව!#16:22 ඇරමෙයික් බසින් මරනාථා
23යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ වේවා!
24මගේ ප්‍රේමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ හැම සමඟ පවතී. ආමෙන්!

දැනට තෝරාගෙන ඇත:

1 කොරින්ති 16: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න