1 කොරින්ති 15:12-28

1 කොරින්ති 15:12-28 SCV

ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ, මළවුන්ගෙන් නැගිටුවන ලද, වශයෙන් නම්, මළවුන් නැගිටීමක් නැතැයි ඔබ ඇතමකු කියන්නේ කෙසේ ද? මළවුන් නැගිටීමක් නැති නම්, ක්‍රිස්තුස්වහන්සේ ද නැගිටුවනු ලැබ නැත. ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබ නැති නම්, අපගේ දේශනා කිරීම නිෂ්ඵල ය; ඔබගේ ඇදහිල්ලත් නිෂ්ඵල ය. දෙවියන්වහන්සේ විසින් ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවන ලදැයි උන්වහන්සේ ගැන අප සාක්ෂි දී ඇති බැවින්, අප ද දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂි දුන් අය සේ ගැනේ. මන්ද මළවුන් නැගිටීමක් නැති වග සත්‍යය නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ නැගිටුවනු ලැබ නැත. මන්ද මළවුන් නැගිටීමක් නැති නම්, ක්‍රිස්තුස්වහන්සේ ද නැගිටුවනු ලැබ නැත. ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබුවේ නැති නම්, ඔබගේ ඇදහිල්ල ද නිරර්ථක ය; ඔබ තවමත් ඔබේ පාපවල ය. එසේ නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ සැතපුණු අය ද විනාශ වූවෝ වෙති. ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට ඇති බලාපොරොත්තුව, මේ ජීවිතය තුළ පමණක් නම්, සියලු මිනිසුන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තෝ ද අප ම ය. එහෙත් සත්‍ය මෙයයි; සැතපුණු සියල්ලන්ගේ නාඹුල් පලය ව ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේක්ම ය. මන්ද මිනිසකු මගින් මරණය පැමිණි සේ ම, මළවුන්ගෙන් නැගිටීම ද මිනිසකු මගින් පැමිණේ. මන්ද ආදම් තුළ හැමෝම මැරෙන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝ ජීවනයට ගෙනෙනු ලබති. ඒ එකිනෙකාගේ තත්වයට අනුව ය. නාඹුල් පලය ක්‍රිස්තුස්වහන්සේ ය. අනතුරුව උන්වහන්සේ යළි පැමිණෙන කල, උන්වහන්සේට අයිතිවූවන් ය. අවසානය පැමිණෙන්නේ, ක්‍රිස්තුස්වහන්සේ හැම පාලනයක්, හැම ආධිපත්‍යයක් හා බලය විනාශ කර, පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේට රාජ්‍යය බාර දුන් විට ය. මන්ද උන්වහන්සේගේ සියලු සතුරන් උන්වහන්සේගේ පයට යටත් කරන තෙක්, උන්වහන්සේ රජකම් කළ යුතු ම ය. සුන් කර දමනු ලබන්නට සිටින අවසාන සතුරා මරණයයි. දෙවියන්වහන්සේ, “සියලු දේ ම එතුමාණන්ගේ පයට යටත් කළ සේකැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි. එහෙත්, උන්වහන්සේගේ පයට සියලු දේ ම යටත් කළ තැනැන්වහන්සේ, ඒ “සියලු දේ ම” යන්නට ඇතුළත් නො වන බැව් පැහැදිලි ය. මෙසේ, සියලු දේ ම උන්වහන්සේට යටත් කරනු ලැබූ පසු, ඒ සියලු දේ ම තමනට යටත් කළ දෙවියන්වහන්සේට පුත්‍රයාණන් ද යටත් වන සේක. එසේ වනුයේ, සෑම සියල්ලේ පූර්ණ පරමාධිපත්‍යය දෙවියන්වහන්සේ ම වන පිණිස ය.