1 කොරින්ති 12:8-30

1 කොරින්ති 12:8-30 SCV

ආත්මයාණන් මගින් කෙනකුට ප්‍රඥාව කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන්ට අනුකූලව දැනගැන්ම කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන් මගින් ඇදහිල්ල ද එම එක ආත්මයාණන් මගින් තවත් කෙනකුට සුව කිරීමේ දීමනා ද තව කෙනකුට හාස්කම් සිදු කිරීම ද තවත් කෙනකුට දිවැස් වැකි කීම ද තවත් කෙනකුට ආත්ම අතරේ විමසීමේ හැකියාව ද තව කෙනකුට විවිධ භාෂා කතා කිරීම ද එසේ ම තවත් කෙනකුට එම භාෂාවල අර්ථ පහදා දීම ද දී තිබේ. ස්වකීය අභිමතය පරිදි එක් එක් කෙනාට වෙන් වෙන් වශයෙන් මේ සියල්ල බෙදා, වෙන් කර දී, බලය පවරා දෙන්නේ ඒ එක ම, ආත්මයාණන්වහන්සේ ය. බොහෝ අවයව තිබුණත්, ශරීරය තනි එකකි. ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත්, එක ශරීරයක් වන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවත් එසේ ම ය. මන්ද යුදෙව් හෝ ග්‍රීක් වේවා, වහල් හෝ නිවහල් වේවා අප සියල්ලෝ එක ම ආත්මයාණන්වහන්සේ තුළ එක ශරීරයක් තුළට බව්තීස්ම කරනු ලැබීමු; තවද සියල්ලෝ එක ම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමු. ශරීරය සැදුම් ලද්දේ එක් අවයවයකින් නො ව බොහොමයකිනි. “මා අතක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි පාදය කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත. තවද, “මා ඇසක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි කන කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත. මුළු ශරීරය ඇසක් වී නම්, ඇසීම දැනෙන්නේ කොතැනකට ද? මුළු ශරීරය කනක් වී නම් ගඳ-සුවඳ විඳින්නේ කොතැනින් ද? එහෙත් ශරීරයේ කොටස්, ඒ හැම එකක් ම, ඒ ඒ හැටියට දෙවියන්වහන්සේ සකසා ඇත්තේ ස්වකීය අභිමතය පරිදි ය. ඒ සියල්ල එක ම ශරීරාංගයක් වී නම්, ශරීරය කොයින් ද? ඒ අනුව අවයව බොහොමයක් වෙතත්, එක ශරීරයකි. අත අමතා, “නුඹ මට ඕනෑ නැතැ” යි කියන්නට ඇසටවත්, පාද අමතා, “නුඹලා මට ඕනෑ නැතැ” යි කියන්නට හිසටවත් නුපුළුවන. සැබවින් ම, සිරුරේ දුබලයයි පෙනෙන අවයව අත්‍යවශ්‍ය වෙයි. ගරුත්වයෙන් අඩු යයි අප සලකන අවයවවලට අපි වඩා ගරුත්වයක් දෙන්නෙමු. තවද අපගේ ශරීරයේ ශෝභාව නැති කොටස්වලට අප මහත් අවධානයක් දක්වතත්, අපගේ වඩා ශෝභමාන කොටස්වලට එය අනවශ්‍ය ය. මෙසේ දෙවියන්වහන්සේ ශරීරය නිර්මාණ කර ඇත්තේ, ගරුත්වයෙන් අඩු අවයවවලට මහත් ගරුත්වයක් දෙමිනි. එසේ කර ඇත්තේ ශරීරයේ භේද ඇති නො වී, අවයව එකිනෙකට සමාන සැලකිල්ලක් දක්වන පිණිස ය. එවිට එක් අවයවයක් වේදනා විඳී නම්, සියලු අවයව එය සමඟ වේදනා විඳී; එක් අවයවයක් ගෞරව ලබයි නම්, සියලු අවයව ඒ සමඟ ප්‍රීති වේ. එලෙස ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ය. ඔබ හැම කෙනෙක් ම එහි අවයවය ය. දෙවියන්වහන්සේ සභාව තුළ පළමු කොට අපෝස්තුලුවරුන් ද දෙවනුව දිවැසිවරුන් ද තෙවනුව ගුරුවරුන් ද ඊළඟට හාස්කම් ද ඊළඟට සුව කිරීමේ දීමනා ද උපකාර ද පරිපාලනය හා විවිධ ආකාරයේ භාෂා ද පත් කළ සේක. සියල්ලෝ අපෝස්තුලුවරු ද? සියල්ලෝ දිවැසිවරු ද? සියල්ලෝ ගුරුවරු ද? සියල්ලෝ හාස්කම් දක්වත් ද? සියල්ලෝ සුව කිරීමේ දීමනා ලද්දෝ ද? සියල්ලෝ අන්‍ය භාෂා කතා කරත් ද? සියල්ලෝ අර්ථ පහදත් ද?

1 කොරින්ති 12:8-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය