1 කොරින්ති 12:12-20

1 කොරින්ති 12:12-20 SCV

බොහෝ අවයව තිබුණත්, ශරීරය තනි එකකි. ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත්, එක ශරීරයක් වන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවත් එසේ ම ය. මන්ද යුදෙව් හෝ ග්‍රීක් වේවා, වහල් හෝ නිවහල් වේවා අප සියල්ලෝ එක ම ආත්මයාණන්වහන්සේ තුළ එක ශරීරයක් තුළට බව්තීස්ම කරනු ලැබීමු; තවද සියල්ලෝ එක ම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමු. ශරීරය සැදුම් ලද්දේ එක් අවයවයකින් නො ව බොහොමයකිනි. “මා අතක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි පාදය කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත. තවද, “මා ඇසක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි කන කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත. මුළු ශරීරය ඇසක් වී නම්, ඇසීම දැනෙන්නේ කොතැනකට ද? මුළු ශරීරය කනක් වී නම් ගඳ-සුවඳ විඳින්නේ කොතැනින් ද? එහෙත් ශරීරයේ කොටස්, ඒ හැම එකක් ම, ඒ ඒ හැටියට දෙවියන්වහන්සේ සකසා ඇත්තේ ස්වකීය අභිමතය පරිදි ය. ඒ සියල්ල එක ම ශරීරාංගයක් වී නම්, ශරීරය කොයින් ද? ඒ අනුව අවයව බොහොමයක් වෙතත්, එක ශරීරයකි.