1 ලේකම් 29:10-20
1 ලේකම් 29:10-20 SCV
එබැවින් දාවිත් මුළු ජන හමුව ඉදිරියේ ස්වාමින්වහන්සේට ආශිර්වාදය පුද කළේ ය: “අහෝ ස්වාමින්වහන්ස, අපගේ පිය වූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සදාතනයෙන් සදාතනයට ඔබ ආශිර්වාදිත ය; අහෝ ස්වාමින්වහන්ස, උත්තම භාවය හා බලයත්, තේජෝ මහිමය, ජයග්‍රහණය හා රාජශ්‍රීයත් ඔබගේ ය. මන්ද ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ඔබගේ ය. රාජ්‍යයත් ඔබගේ ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබ හිස මෙන් සියල්ලන්ට උසස් ව සිටින සේක. වස්තුව හා ගෞරවය පැමිණෙන්නේ ඔබ වෙතින් ය. සියල්ල පාලනය කරන්නේ ඔබ ය; බලය හා පරාක්‍රමය ඔබ අතේ ය. සැමට ශ්‍රේෂ්ඨත්වය හා ශක්තිය සලසා දෙන්නේ ඔබ අතින් ය. එබැවින් අපගේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති පුදන්නෙමු. ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසා කරන්නෙමු. “එහෙත් මෙසේ ත්‍යාගශීලී ව දෙන්නට හැකි වූ මා කවුරුන් ද? මගේ ජනතාව කවරහු ද? මන්ද සියල්ල පැමිණෙන්නේ ඔබ වෙතිනි. අප ඔබට දී ඇත්තේ ඔබ වෙතින් ම පැමිණෙන දෙයිනි. අපේ පියවරුන් සියල්ලන් මෙන් ඔබගේ ඇස් හමුවේ අප ආගන්තුකයින් හා තාවකාලික පදිංචිකරුවන් ය. මිහි මත අපගේ දවස් සෙවණැල්ලක් වැනි ය. දිගට ම පැවැත්මක් නැත. අහෝ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධ නාමය උදෙසා ඔබට ගෘහයක් තනන්නට අප සූදානම් කළ මේ සියල්ල පැමිණෙන්නේ ඔබ අතින් ය. ඒ සියල්ල ඔබගේ ය. මගේ දෙවියන්වහන්ස, ඔබ හදවත සෝදිසි කරන වගත්, අවංකකමට ප්‍රියවන වගත් මම දනිමි. මා මේ සියල්ල දුන්නේ මගේ ම කැමැත්තෙන් හා අවංකකමිනි. එසේ ම දැන් මෙහි සිටින ඔබගේ ජනයා ස්ව-කැමැත්තෙන් ඔබට දුන් වග දැන් මම ප්‍රීතියෙන් යුතු ව දුටිමි. අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියවරුන් වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවියන්වහන්ස, මේ අරමුණු හා සිතුවිලි ඔබගේ ජනයාගේ හදවත්වල සදහට ම තැබුව මැනව. ඔවුන්ගේ හදවත් ඔබ වෙත යොමුකරගත මැනව. මගේ පුත් සාලමොන් මුළු හදින් ම, ඔබගේ ආඥා ද ඔබගේ පනත් හා නියෝග ද රක්ෂා කරන පිණිසත්, ඒ සියල්ල පිළිපදින පිණිසත්, මා සපයා දී ඇති ලෙස එම මාලිගාව ඉදිකරන පිණිසත් ඔහුට වර දුන මැනව” යි පැවසී ය. ඉන්පසු දාවිත් රැස් වූ සමස්ත ජන සමූහයා අමතමින්, “ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නැ” යි පැවසී ය. එසේ ඔවුන් සියල්ලෝ ම තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා කළහ. ඔවුහු ස්වාමින්වහන්සේ ද රජු ද ඉදිරියේ හිස් නමා, ගෞරව ප්‍රණාම දක්වා, ස්වාමින්වහන්සේට පූජා ඔප්පු කළහ.







