1 ලේකම් 29:1-7

1 ලේකම් 29:1-7 SCV

ඉන්පසු දාවිත් රජු මුළු සමූහයාට කතා කොට, “දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ එක ම තැනැත්තා වන මගේ පුත් සාලමොන් තරුණ ය; පලපුරුද්දෙන් අඩු ය. එහෙත් මේ කාරිය අති මහත් ය. මන්ද මේ මාලිගාව මනුෂ්‍යයා සඳහා නො ව දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උදෙසා ය. එහෙයින් මම, මගේ දෙවියන්වහන්සේගේ ගෘහය සඳහා මට හැකි උපරිමයෙන් රන් වැඩට රන්, රිදී වැඩට රිදී, ලෝකඩ වැඩට ලෝකඩ, යකඩ වැඩට යකඩ, ලී වැඩට ලී හා ඔබ්බන පිණිස ගෝමේද, අඤ්ජන, නා නා වර්ණ මැණික්, සියලු ආකාර අනර්ඝ ගල් හා කිරිගරුඬ බොහෝ සේ සූදානම් කළෙමි. තවද මේ ශුද්ධ ගෘහය උදෙසා මා සූදානම් කළ සියල්ලට අමතරව මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට ඇති මගේ ළැදිකම නිසා මම, මගේ ම වස්තුව වන රන් හා රිදී දැන් මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන්නෙමි: ඕෆීර්හි රත්තරනින් රන් තලෙන්ත තුන්දහසක් හා පිරිපහදු රිදී තලෙන්ත හත්දහසක් ය. ඒ, ගෘහයේ බිත්ති ආලේප කිරීම සඳහා ද රන් වැඩට රන්, රිදී වැඩට රිදී ලෙස ශිල්පීන්ගේ අතින් කළ යුතු සියලු වැඩ ද සඳහා ය. අද දවසේ කැමැත්තෙන් තමන් ම ස්වාමින්වහන්සේට කැප කර ගන්නේ කවුරුන් දැ?” යි ඇසී ය. ඉන්පසු පියවංශ නායකයෝ ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ප්‍රධානීහු ද දහසේ හා සියයේ සෙන්පතීහු ද රජුගේ සේවා-කටයුතු බාර ව සිටි නිලධාරීහු ද දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ සඳහා රන් තලෙන්ත පන්දහසක් හා රන් දරික් දස දහසක් ද රිදී තලෙන්ත දස දහසක්, ලෝකඩ තලෙන්ත දහඅට දහසක් හා යකඩ තලෙන්ත සිය දහසක් ද දුන්හ.

මෙයට අදාළ වීඩියෝ