1 ලේකම් 28

28
දේව මාලිගය සඳහා දාවිත්ගේ සැලැස්ම
1දාවිත්, ඉශ්‍රායෙල්හි සියලු නිලධාරීන් වන ගෝත්‍ර වංශ අධිපතීන්, රජුගේ සේවා කණ්ඩායම්වල නිලධාරීන්, දහසේ අණ දෙන්නන් හා සියයේ අණ දෙන්නන්, රජුගේත්, ඔහුගේ පුත්‍රයින්ගේත් දේපළ හා සත්ව රංචු බාර ව සිටි නිලධාරීන් හා රජ මැදුරේ නිලධාරීන්, වික්‍රමාන්විත මිනිසුන් හා සියලු නිපුණ රණවිරුවන් යෙරුසලමට රැස් කරවී ය.
2ඉන්පසු නැගිට සිටගත් දාවිත් රජු මෙසේ පැවසී ය: “මා සහෝදරයිනි, මගේ ජනයිනි, මට සවන් දෙන්න. මගේ අභිප්‍රාය වූයේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුවට විශ්‍රාම නිවාසස්ථානයක් වන පිණිස ද අපගේ දෙවියන්වහන්සේගේ පා පුටුව වන පිණිස ද ගෘහයක් ඉදිකිරීමයි. මම ඊට කටයුතු සූදානම් කළෙමි. 3එහෙත් දෙවියන්වහන්සේ මා අමතා, ‘ඔබ මා උදෙසා ගෘහයක් ඉදි කරන්නේ නැත. මන්ද ඔබ යුද්ධයේ මිනිසෙක්; ඔබ ලේ වගුරුවා ඇතැ’ යි පැවසූ සේක.
4“එහෙත් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මගේ මුළු පියවංශයෙන් මා තෝරා ගත්තේ, සදහට ම ඉශ්‍රායෙල්ට රජු වන පිණිසයි. මන්ද නායකයා වශයෙන් යූදා තෝරාගත් උන්වහන්සේ යූදා පෙළපතින් මගේ පියාගේ පවුල තෝරාගත් සේක. උන්වහන්සේ මගේ පියාගේ පුත්‍රයන් අතරින් මුළු ඉශ්‍රායෙල් රජකමට පත් කරන්නට මා කෙරේ ප්‍රසන්න වූ සේක. 5ස්වාමින්වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. මගේ පුත්‍රයන් අතරෙන් ඉශ්‍රායෙල් කෙරේ ස්වාමින්වහන්සේගේ රාජ්‍යයේ සිංහාසනයේ හිඳගන්නට උන්වහන්සේ මගේ පුත් සාලමොන් තෝරාගත් සේක. 6උන්වහන්සේ මා අමතමින්, ‘මගේ ගෘහය හා මගේ ගෘහ-මළු ඉදි කරන්නේ ඔබගේ පුත් සාලමොන් ය. මන්ද මගේ පුත්‍රයා වන පිණිස මම ඔහු තෝරා ගතිමි. මම ඔහුගේ පියාණන් වන්නෙමි. 7දැනට කෙරෙන පරිදි, ඔහු මගේ ආඥා හා නියමයන් ඔහු දිගට ම පවත්වන්නේ නම්, මම ඔහුගේ රාජ්‍යය සදහට ම තහවුරු කරන්නෙමි’ යි කී සේක.
8“එබැවින්, ඔබ මේ සාරවත් දේශය හිමි කර ගෙන, ඔබෙන් පසු ඔබේ දරුවන්ට සදහට එය උරුම කර දෙන පිණිස, ස්වාමින්වහන්සේගේ සභාව වන මුළු ඉශ්‍රායෙල් ඇස් හමුවේ හා අපගේ දෙවියන්වහන්සේ අසා සිටියදී මා අවවාද කරන්නේ නම්: ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ සියලු ආඥා පවත්වන්නට හා ඒවා රක්ෂා කරන්නට වග බලා ගන්න කියා ය.
9“දැන් ඔබ, සාලමොන් මා පුත, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින, මුළු හදවතින් හා ස්ව-කැමැත්තෙන් උන්වහන්සේට මෙහෙ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ හැම හදවතක් නිරීක්ෂණ කරන සේක්, හැම සලැස්මක් හා හැම සිතුවිල්ලක් වටහා ගන්නා සේක. ඔබ උන්වහන්සේ සොයනවා නම්, උන්වහන්සේ ඔබට හමුවෙනු ඇත. එහෙත් ඔබ උන්වහන්සේ අත්හරිනවා නම්, උන්වහන්සේ සදහට ම ඔබ ප්‍රතික්ෂේප කරනවා ඇත. 10දැන් සිතට ගන්න; ශුද්ධස්ථානයට දේව මාලිගයක් ඉදි කරන්නට ස්වාමින්වහන්සේ ඔබ තෝරා ගෙන ඇත. ශක්තිමත් ව සිට එය කරන්නැ” යි පැවසී ය.
11ඉන්පසු දාවිත් ගෘහයේ පිවිසුම් ශාලාවේ ද එහි ගොඩනැගිලිවල, ගබඩාවල, ඉහළ කාමරවල, ඇතුල් කුටිවල හා කරුණාසනය#28:11 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම සඳහා වන කාමරයේ සැලසුම් තම පුත් සාලමොන්ට දුන්නේ ය. 12තවද තම සිතේ තිබූ සියලු දේවල සැලසුම් එනම් ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළු හා ඒ වටා තැනෙන කුටි සියල්ල, දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා හා කැප කළ ත්‍යාග සඳහා ගබඩාවල සැලසුම් ද දුන්නේ ය. 13තවද පූජක හා ලෙවී සේවා පන්ති ගැන ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ සේවා-කටයුතු හා ස්වාමින්වහන්සේගේ ගෘහයේ සේවා භාජන ගැන ද 14එක් එක් මෙහෙය සඳහා රන් භාණ්ඩ සියල්ලට අවැසි රන්වල බර හා එක් එක් මෙහෙය සඳහා රිදී භාණ්ඩ සියල්ලට අවැසි රිදී බර ද ඔහු නියම කළේ ය. 15ඒ ඒ සේවාවට අනුකූල රන් පහන් රුක් හා ඒවායේ පහන්වල බර ද එක් එක් රන් පහන් රුකේ හා එහි පහන්වල රන් බර ද එක් එක් පහන් රුකේ හා එහි පහන්වල රිදී බර ද 16පිදීමේ රොටි තබන එක් එක් මේසය සඳහා රන්වල බර හා රිදී මේසය සඳහා රිදීවල බර ද 17මුල්ලු, බේසම්, කුසලාන් හා රන් පාත්‍ර යන ඒ එක එක සඳහා රන් බර ද එක එක රිදී පාත්‍ර සඳහා රිදී බර ද 18සුවඳ දුම් පුදසුන සඳහා පිරිසිදු කළ රන්වල බර ද ඔහු නියම කළේ ය. තම විදහාගත් පියාපත්වලින් ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ආවරණය කරන රන් කෙරුබ් රථය සඳහා සැලසුම ද ඔහු ඔහුට දුන්නේ ය.
19“මේ සියල්ල, එනම් සැලැස්මට අනුව කළ යුතු සියලු වැඩ, ස්වාමින්වහන්සේගේ හස්තයෙන් ලිඛිත ව මට දැනුම් දී තිබේ. සියලු වැඩ ඉටු කළ යුත්තේ සැලැස්මට අනුව යැ” යි ඔහු පැවසී ය.
20තවද දාවිත් තම පුත් සාලමොන් අමතමින්, “ශක්තිමත් ව, ධෛර්යවත් ව එය කරන්න. භය නො වන්න; තැති නො ගන්න. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, මගේ දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක. ස්වාමින්වහන්සේගේ ගෘහයේ සේවාවන්වල වැඩ සියල්ල ම අවසන් වන තෙක්, උන්වහන්සේ ඔබෙන් වෙන් ව යන්නේවත්, ඔබ අත්හරින්නේවත් නැත. 21දෙවියන්වහන්සේගේ ගෘහයේ සියලු සේවා සඳහා පූජක පන්ති හා ලෙවී පන්ති මෙන්න! කවර සේවාවකට වුව නිපුණත්වය ද කැමැත්ත ද ඇති හැම ශිල්පියෙක් ම හැම වැඩකට ම ඔබ සමඟයි; නිලධාරීන් ද මුළු ජනතාව ද ඔබේ අණට කීකරු වනු ඇතැ” යි පැවසී ය.

දැනට තෝරාගෙන ඇත:

1 ලේකම් 28: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න