1 ලේකම් 26:1-32

1 ලේකම් 26:1-32 SCV

දොරටුපාල සේවා පන්ති: කෝරාවරුන්ගෙන්: ආසාෆ්ගේ පුත්‍රයකු වූ කොරේගේ පුත් මෙෂෙලෙමියා ය. මෙෂෙලෙමියාට පුත්තු සිටියහ: සෙකරියා කුලුඳුලා ය. යෙදීයයෙල් දෙවැන්නා ය. සෙබදියා තුන්වැන්නා ය. යත්නියෙල් සිවුවැන්නා ය. ඒලාම් පස්වැන්නා ය. යෙහෝහානාන් හයවැන්නා ය. එල්යෙහෝවේනයි හත්වැන්නා ය. ඔබේද්-ඒදොම්ට ද පුත්තු සිටියහ: ෂෙමායා කුලුඳුලා ය. යෙහෝසාබාද් දෙවැන්නා ය. යෝවා තුන්වැන්නා ය. සාකාර් සිවුවැන්නා ය. නෙතනේල් පස්වැන්නා ය. අම්මියෙල් හයවැන්නා ය. ඉස්සාකර් හත්වැන්නා ය. පෙයුල්ලෙතයි අටවැන්නා ය. (මන්ද දෙවියන්වහන්සේ, ඔහුට ආශිර්වාද කර තිබුණි.) ඔහුගේ පුත් ෂෙමායාට ද පුත්තු සිටියහ; ඔවුහු මහ බලවත් මිනිසුන් වූ බැවින්, තම පියාගේ පෙළපතේ ප්‍රධානීන් වූහ. ෂෙමායාගේ පුත්තු: ඔත්නී, රෙෆායෙල්, ඕබේද් හා එල්සාබාද් ය. ඔහුගේ නෑයින් වූ එලීහු හා සෙමකියා ද දක්ෂයින් වූහ. ඔවුන් සියල්ලෝ ඔබේද්-ඒදොම්ගෙන් පැවත ආහ. ඔවුහු ද ඔවුන්ගේ පුත්තු හා ඔවුන්ගේ සහෝදරයෝ වැඩ කිරීමෙහි සවි ශක්තිය ඇති දක්ෂයින් වූහ. ඔබේද්-ඒදොම්ගෙන් පැවත ආ සියල්ලෝ හැට දෙදෙනෙකි. මෙෂෙලෙමියාට දක්ෂ පුතුන් හා සහෝදරයින් දහඅට දෙනෙක් සිටියහ. මෙරාරීය හොසාට ද පුත්තු සිටියහ: පළමු වැන්නා ෂිම්රී ය. (ඔහු කුලුඳුල් පුත්‍රයා නො වූව ද ඔහුගේ පියා ඔහු කුලුඳුලා ලෙස පත් කළේ ය.) දෙවැන්නා හිල්කීයා ය. තුන්වැන්නා ටෙබලියා ය. සිවුවැන්නා සෙකරියා ය. හොසාගේ පුතුන් හා සහෝදරයින් සියල්ලෝ දහතුන් දෙනෙකි. මෙම දොරටුපාල කණ්ඩායම්වල ප්‍රධානීන්ට, ඔවුන්ගේ සහෝදරයින්ට සේ ම, ස්වාමින්වහන්සේගේ ගෘහ සේවා සඳහා රාජකාරී තිබිණ. ඔවුන්ගේ පියවංශ මගින්, ලොකු කුඩා ඒ සියල්ලන් උදෙසා දොරටු සේවා සඳහා පස ඇට දමන ලදහ. නැගෙනහිර දොරටුවට පස ඇටය වැටුණේ ෂෙලෙමියාට ය. ඊළඟට පස ඇට දමනු ලැබුවේ ප්‍රඥාවත් උපදේශකයකු වූ ඔහුගේ පුත් සෙකරියාට ය. ඔහුට පස ඇටය වැටුණේ උතුරු එකට ය. දකුණ සඳහා පස ඇටය වැටුණේ ඔබේද්-ඒදොම්ට ය. ගබඩාව සඳහා පස ඇටය වැටුණේ ඔහුගේ පුතුන්ට ය. බස්නාහිර හා ඉහළ මාවතේ ඇති ෂල්ලෙකෙත් දොරටුවට පස ඇටය වැටුණේ ෂුප්පීම්ට හා හොසාට ය. දොරටුපාලයෝ මුරයෙන් මුරයට සිටියෝ ය. නැගෙනහිර දිශාවේ දිනකට ලෙවීවරු හයදෙනෙක් ද උතුරු දිශාවේ දිනකට හතර දෙනෙක් ද දකුණු දිශාවේ දිනකට හතර දෙනෙක් ද ගබඩාවට වරකට දෙදෙනෙක් ද සිටියහ. බස්නාහිර දිශාවේ මළුව ළඟ මාවතේ හතර දෙනෙක් ද මළුවෙහි දෙදෙනෙක් ද සිටියහ. කෝරාගෙන් පැවත එන්නවුන් වූ ද මෙරාරීගෙන් පැවත එන්නවුන් වූ ද දොරටුපාල සේවා පන්ති ඒවා ය. ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාර හා කැප කළ භාණ්ඩ තිබූ භාණ්ඩාගාර බාර ව සිටියේ ය. ලාදාන්ගේ පුත්‍රයින් වූ ලාදාන්ට අයිති ගෙර්ෂොන් පුත්‍රයින් වන ගෙර්ෂොන් වංශික ලාදාන්ගේ පියවංශවල ප්‍රධානීන් වූයේ: යෙහීයෙලී ය, යෙහීයෙලීගේ පුත්‍රයින්, සේතාම් හා ඔහුගේ සහෝදරයා වූ යෝවෙල් ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාර බාර ව සිටියහ. අම්රාම්වරුන්ගෙන්, ඉස්හාර්වරුන්ගෙන්, හෙබ්‍රොන්වරුන්ගෙන් හා උස්සියෙල්වරුන්ගෙන්: මෝසෙස්ගේ පුත් ගේර්ෂොම්ගෙන් පුත්‍රයකු වූ ෂෙබූයෙල්, භාණ්ඩාගාර බාර නිලධාරියා ය. ඔහුගේ සහෝදරයෝ: එලියේසර්ගෙන් ඔහුගේ පුත් රෙහබියා ය. ඔහුගේ පුත් යෙෂායා ය. ඔහුගේ පුත් යෝරාම් ය. ඔහුගේ පුත් සික්රී ය. ඔහුගේ පුත් ෂෙලොමොත් ය. මෙම ෂෙලොමොත් හා ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු ද පියවංශ ප්‍රධානීන් ද දහසේ හා සියයේ සෙන්පතීන් ද හමුදා අණ දෙන්නන් ද කැප කොට තිබූ සියලු භාණ්ඩාගාර බාර ව සිටියහ. ඔවුහු යුද්ධයේදී ලබා ගත් කොල්ලයෙන් කොටසක් ස්වාමින්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කිරීම පිණිස කැප කළහ. දිවැසිවර සාමුවෙල්, කීෂ්ගේ පුත් සාවුල්, නේර්ගේ පුත් අබ්නේර් හා සෙරූයාගේ පුත් යෝවාබ් කැප කළ සියල්ල-කැප කරන ලද ත්‍යාග සියල්ල ෂෙලොමොත් හා ඔහුගේ සහෝදරයින් බාරයේ විය. ඉස්හාර්වරුන්ගෙන්: කෙනනියා හා ඔහුගේ පුත්‍රයෝ දේව මාලිගයෙන් බැහැර සේවා-කටයුතුවලට ඉශ්‍රායෙල් කෙරේ නිලධාරීන් හා විනිසුරුවන් වශයෙන් පත් කරනු ලදහ. හෙබ්‍රොන්වරුන්ගෙන්: බලවත් මිනිසුන් එක්දහස් හත්සියයක් වූ හෂබියා හා ඔහුගේ සහෝදරයෝ යොර්දාන් ගඟට බස්නාහිර ස්වාමින්වහන්සේගේ සියලු වැඩ කටයුතුවලටත්, රජුගේ මෙහෙයටත් ඉශ්‍රායෙල්හි වගකීම ඉසුළූහ. හෙබ්‍රොන්වරුන්ගෙන්, හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ලේඛනවලට අනුව ඔවුන්ගේ ප්‍රධානියා වූයේ යෙරීයා ය. (දාවිත්ගේ රාජ සමයේ, හතළිස් වෙනි වසරේ වාර්තා පරීක්ෂා කර බැලූ කල, ගිලියාද්හි යාසේර්හි හෙබ්‍රොන්වරුන් අතරේ දක්ෂ මිනිසුන් සිටින වග දැනගන්නට ලැබිණි. පියවංශ ප්‍රධානීන් වූ දක්ෂ සහෝදරයින් දෙදහස් හත්සියයක් යෙරියාට සිටියහ. දාවිත් රජු දෙවියන්වහන්සේට අදාළ කටයුතුවලටත්, රජුගේ කටයුතුවලටත් රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේ අර්ධ ගෝත්‍ර වංශය ද කෙරෙහි ඔවුන් මුලාදෑනීන් කොට පත් කළේ ය.)