සාතන් ඉශ්‍රායෙල්ට එරෙහිව නැගී සිට, ඉශ්‍රායෙල් සංගණනයක් ගැනීමට දාවිත් පෙලඹවී ය. එබැවින් දාවිත්, යෝවාබ් හා හමුදා ප්‍රධානීන් අමතා, “යන්න, බෙයර්ෂෙබා සිට දාන් දක්වා ඉශ්‍රායෙල්වරුන් ගණන් කොට, ඔවුන්ගේ ගණන මා දැනගන්නා පිණිස මට එය වාර්තා කරන්නැ” යි පැවසී ය.
එහෙත් යෝවාබ් කතා කොට, “ස්වාමින්වහන්සේ තම ජනයා දැන් සිටිනවාට වඩා සිය ගුණයකින් වැඩි කරන සේක්වා! මගේ ස්වාමියා වන රජ්ජුරුවනි, ඔවුන් සියල්ලෝ ම මගේ ස්වාමියාගේ යටත් වැසියන් නො වෙත් ද? මෙබන්දක් කරන්නට මගේ ස්වාමියාට ඇති වුවමනාව මොකද? ඉශ්‍රායෙල් පිට වරද පමුණුවන්නේ ඇයි දැ?” යි ඇසී ය.
කෙසේ වුව ද රජුගේ වචනයෙන් යෝවාබ් යටපත් කරනු ලැබිණි. එබැවින් යෝවාබ් පිටත් ව, මුළු ඉශ්‍රායෙල් දේශය පුරා ගමන් කොට, ආපසු යෙරුසලමට ආවේ ය. ගණනය කරන ලද ජන සංඛ්‍යාව යෝවාබ්, දාවිත්ට වාර්තා කළේ ය. අසිපත් දරන මුළු ඉශ්‍රායෙල් ජනයා එකොළොස් ලක්ෂයක් ය. යූදා ජන සංඛ්‍යාව හාර ලක්ෂ හැත්තෑදහසක් ය.
එහෙත් රජුගේ අණ යෝවාබ්ට පිළිකුල් ව තිබූ බැවින්, ඒ ගණන් ගැනීමට ඔහු ලෙවී හා බෙන්යමින් ඇතුළත් කර තිබුණේ නැත. මෙය දෙවියන්වහන්සේට අප්‍රසන්න වූයෙන්, උන්වහන්සේ ඉශ්‍රායෙල්ට පහර දුන් සේක.
එවිට දාවිත්, දෙවියන්වහන්සේ අමතමින්, “මේ දේ කිරීමෙන් මම අතිශයෙන් පව් කළෙමි. දැන් ඔබගේ මෙහෙකරුගේ අපරාධය පහ කරන මෙන් අයදිමි. මන්ද මා ක්‍රියා කළේ මහත් අනුවණකමකිනි” යි පැවසී ය.
ස්වාමින්වහන්සේ, දාවිත්ගේ අනාගතවක්තෘ වූ ගාද් අමතමින්, “යන්න, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි දාවිත්ට කියන්න: ‘මම කරුණු තුනක් ඔබ ඉදිරියේ තබමි. ඔබ පිට පමුණු වන පිණිස එයින් එකක් තෝරා ගන්නැ’ යි” පැවසූ සේක.
එබැවින් ගාද්, දාවිත් වෙත ගොස්, ඔහු අමතා, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබ කැමති දේ තෝරා ගන්න. තුන් අවුරුදු සාගතය හෝ ඔබේ සතුරන්ගේ කඩුවට ඔබ ගොදුරු වෙමින්, තුන් මසක් ඔබේ එදිරිවාදීන් ඔබ වනසා දැමීම හෝ ස්වාමින්වහන්සේගේ දූතයා විසින් මුළු ඉශ්‍රායෙල් පළාත ම විනාශ කර දමනු ලබන තුන් දිනක ස්වාමින්වහන්සේගේ කඩුව වන වසංගතය යන තුනෙන් එකක් තෝරා, මා එවූ තැනැන්වහන්සේට මා පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි තීරණය කරන්නැ’ යි” කීවේ ය.
දාවිත් ගාද් අමතමින්, “මා බරපතළ පීඩනයකට හසු වෙලා; ස්වාමින්වහන්සේගේ හස්තයට මා හසු වේවා! මන්ද උන්වහන්සේගේ දයාව අති මහත් ය. කෙසේ වෙතත් මිනිසුන්ගේ අත්වලට හසුවන්නට මට ඉඩ නො හරින්නැ” යි පැවසී ය.
එබැවින් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් පිටට වසංගතයක් එවූයෙන්, ඉශ්‍රායෙල් මිනිසුන් හැත්තෑදහසක් මැරුණහ. දෙවියන්වහන්සේ යෙරුසලම විනාශ කරන්නට දූතයකු යැවූ සේක. එහෙත් දූතයා එසේ කරන්නට සූදානම් වෙත් ම, ස්වාමින්වහන්සේ ඒ දැක, විපත්තිය ගැන තැවී, විනාශ කරමින් සිටි දූතයා අමතා, “ඔය ඇති! ඔබේ අත නවතා ගනු” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා යෙබූසීය ඔර්ණාන්ගේ කමත අසල සිටගෙන සිටියේ ය.
දාවිත් ඇස් ඔසවා බැලූ කල, ස්වාමින්වහන්සේගේ දූතයා තම අසිපත යෙරුසලමට ඉහළින් දිගු කර ගෙන, අහසත්, පොළොවත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඟ ලා සිටි දාවිත් හා වැඩිහිටියෝ මුණින් තලා වැටුණහ.
දාවිත්, දෙවියන්වහන්සේ අමතා, “ජනයා ගණන් කරන්නට අණ කළේ මා නො වේ ද? පව් කළේත්, මේ මහ දුෂ්ටකම කළේත් මමයි. ඒත් මේ බැටළුවෝ කුමක් කළෝ ද? අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබගේ හස්තය මා පිටත්, මගේ පියවංශය පිටත් පතිත වේවා! එහෙත් මේ වසංගතය ඔබගේ ජනයා පිට නො වේවා!” යි කීවේ ය.