දාවිත් දහසේ හා සියයේ සෙන්පතීන් වූ හැම නායකයකු සමඟ ම සාකච්ඡා කළේ ය. ඉන් අනතුරුව ඔහු මුළු ඉශ්රායෙල් ජන සමාජය අමතා, “ඔබට මෙය යහපතකැයි පෙනේ නම්, අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද මෙය නම්, පැමිණ අප හා එක්වන්න කියා මුළු ඉශ්රායෙල් දේශය පුරා සිටින අපගේ අනෙක් සහෝදරයන් වෙත ද ඔවුන්ගේ නගර හා තණ බිම්වල ඔවුන් සමඟ සිටින පූජකයින් හා ලෙවීවරුන් වෙත ද පණිවුඩයක් යවමු. අපි අපගේ දෙවියන්වහන්සේගේ කරඬුව අප වෙත යළි ගෙනෙමු. මන්ද සාවුල්ගේ රාජ සමයේදී අප එයින් විමසුවේ නැතැ” යි පැවසී ය. මුළු ජනතාවගේ ඇස් හමුවේ එය කළ යුතු දෙයක් වග පෙනී ගිය බැවින්, එසේ කරන්නට මුළු ජන සමාජය ම එකඟ වූහ. එබැවින් දාවිත් දෙවියන්වහන්සේගේ කරඬුව කිරියත්-යෙයාරීම් සිට ගෙනෙන පිණිස, ඊජිප්තුවේ ෂීහොර් ඔයේ සිට ලෙබෝ-හමාත් දක්වා විසූ සියලු ඉශ්රායෙල්වරුන් රැස් කළේ ය. දාවිත් හා ඔහු සමඟ සිටි සියලු ඉශ්රායෙල්වරු කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනාරූඪ ව සිටින ස්වාමින්වහන්සේගේ නාමය හැඳින්වෙන දෙවියන්වහන්සේගේ කරඬුව යූදාට අයත් බාලා සිට හෙවත් කිරියත්-යෙයාරීම් සිට ගෙනෙන පිණිස පිටත් ව ගියහ. ඔවුහු දෙවියන්වහන්සේගේ කරඬුව අබිනාදාබ්ගේ නිවසේ සිට අලුත් ගැලක තබාගෙන ගියෝ ය. උස්සා හා අහියෝ ගැල දැක්කුවෝ ය. දාවිත් හා සියලු ඉශ්රායෙල්වරු ගීයෙන් ද වීණා, මහ වීණා, රබන්, අත්තාලම් හා හොරණෑ ද ඇතුව දෙවියන්වහන්සේ අබියස මුළු සවියෙන් ප්‍රමෝද වූහ. ඔවුන් කීදොන්ගේ කමත වෙත ළඟා වූ කල ගොනුන් පැකිළුණ බැවින්, ගිවිසුම් කරඬුව අල්ලන්නට උස්සා තම අත දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේගේ කෝපය උස්සාට එරෙහිව ඇවුළුණෙන්, උන්වහන්සේ ඔහුට පහර දුන් සේක. එසේ වූයේ ඔහු තම අත කරඬුව මත තැබූ නිසා ය. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ මළේ ය. ස්වාමින්වහන්සේගේ උදහස උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දාවිත් කෝපයට පත් විය; එබැවින් ඒ ස්ථානය අද දක්වා ම පෙරෙස්-උස්සා යන නමින් හැඳින්වෙයි. ඒ දවසේ දාවිත් දෙවියන්වහන්සේට භය වී, “දෙවියන්වහන්සේගේ කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ?” යි කී ය. එබැවින් දාවිත් කරඬුව තමා වෙත දාවිත් පුරයට ගෙන නො ගොස්, එය පසෙකට හරවා ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසට ගෙන ගියේ ය. දෙවියන්වහන්සේගේ කරඬුව ඔබේද්-ඒදොම්ගේ නිවැසියන් සමඟ ඔහුගේ නිවසේ තුන් මාසයක් තිබිණි. තවද ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ගේ නිවැසියන්ට ද ඔහු සතු සියල්ලට ද ආශිර්වාද කළ සේක.
1 ලේකම් 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 ලේකම් 13:1-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ