රෝම 8:12-30

රෝම 8:12-30 SNRV

එබැවින් සහෝදරවරුනි, මාංසයට ගැති ව ජීවත් වීමට අප මාංසයට බැඳී නැත. ඔබ මාංසයට ගැති ව ජීවත් වන්නහු නම් මරණයට පත් වනු ඇත. එහෙත් ආත්මයාණන් මඟින් ඔබ මාංසික ක්‍රියා නසන්නහු නම්, ඔබ සැබැවින් ම ජීවත් වන්නහු ය. දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, “අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි. අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති. අපි දරුවෝ නම් උරුමක්කාරයෝ ද වම්හ. දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝ ද ක්‍රිස්තුන් වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝ ද වම්හ. මන්ද, දැන් උන් වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන්, අනාගතයේ දී උන් වහන්සේගේ මහිමයේ පංගුකාරයෝ ද වම්හ. මේ ජීවිතයේ දුක් වේදනා, අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමඟ කිසි සේත් සැසඳිය නොහැකි ය යි කල්පනා කරමි. මවා ඇති මේ විශ්වය වුව ද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටියි. මන්ද, විශ්වය, ශුන්‍යතාවට යටත් කළ තැනැන් වහන්සේ එසේ කෙළේ, විශ්වයේ කැමැත්තෙන් නොව, එසේ යටත් කළ උන් වහන්සේගේ ම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි. ඒ බලාපොරොත්තුව නම් මවා ඇති මේ විශ්වය ජරාපත් වීමේ වහල්කමෙන් මිදී දේව දරුවන්ට හිමි මහිමාන්විත නිදහස ලැබීම ය. මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු. එපමණක් නොව, ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් පල ලැබූ අපි ද, අපේ කායික මිදීම වන, පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළ ම සුසුම් ලමු. අප ගැළවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරණකොටගෙන ය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමට ද? එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම්, එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක. අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි. තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය. එසේ, කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත් සේක; කැඳවාගත් අය උන් වහන්සේ දමිටු බවට පැමිණෙවූ සේක; දමිටු බවට පැමිණෙවූ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවූ සේක.

රෝම 8:12-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය