රෝම 5:15-21
රෝම 5:15-21 SNRV
එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත්, ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ, එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ ම මරණයට හේතු වූ නමුත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතු ම හේතුවක් වූ බැවිනි. දෙවියන් වහන්සේගේ දීමනාව හා එක පුද්ගලයෙකුගේ පාපී ක්‍රියාව අතර සමානත්වයක් නැත. මන්ද, එක පාපී ක්‍රියාවක් නිසා ඇති වන දේව විනිශ්චය, දඬුවමට හේතු විය; එහෙත් බොහෝ පාපී ක්‍රියා සම්බන්ධයෙන් ඇති වූ උන් වහන්සේගේ දයාන්විත දීමනාව, වරදින් නිදහස් කිරීමේ තීන්දුව දෙයි. එක මනුෂ්‍යයෙකුගේ පාපය නිසා එක ම තැනැත්තෙකු මඟින් මරණය සියල්ලන් කෙරෙහි රජකම් කෙළේ නම්, කොතරම් අධිකතර ලෙස දේව වරප්‍රසාදය හා දමිටු බවට පැමිණවීමේ දීමනාව ලබන හැම දෙන ම එක ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ජීවනයේ රජකම අත් කර නොගනිද් ද? මෙසේ එක මිනිසෙකුගේ පාපී ක්‍රියාව නිසා හැම මිනිසාට ම දඬුවමේ ඉරණම පැමිණියේ නම්, එක මිනිසෙකුගේ දමිටු ක්‍රියාව නිසා හැමට ම ජීවනදායක නිදොස්කමේ වරප්‍රසාදය ලැබෙනු ඇත. එක මිනිසෙකුගේ අකීකරුකමින් සියල්ලන් ම පව්කාරයන් වූ සේ ම, එක මිනිසෙකුගේ කීකරුකමින් සියල්ලෝ ම දමිටු බවට පමුණුවනු ලබන්නෝ ය. ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය. මෙසේ මරණය සලසමින් පාපය රජකම් කළාක් මෙන් දමිටු බව සලසමින් දේව වරප්‍රසාදය රජකම් කෙළේ ය. ඒ දමිටු බව අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදාතන ජීවනයට අප ගෙන යයි.


