රෝම 1:1-15

රෝම 1:1-15 SNRV

ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස අපෝස්තුළුවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙ‍තිනි. බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක. ඒ සුබ අස්න උන් වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ව ය. පරපුර අනුව බලන විට උන් වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන් සේක; එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූ සේක. සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් අපෝස්තුළුවරයෙකු වීමේ වරම මම උන් වහන්සේ අතින් ලදිමි. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් කැඳවීම ලත් බැවින්, ඔබ ද ඒ ඇදහිලිවතුන්ගේ සංබ්‍යාවට අයිති ය. දෙවියන් වහන්සේට ප්‍රිය වූ, උන් වහන්සේට කැප කරන ලද සෙනඟක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා! පළමුකොට, ඔබගේ ඇදහිල්ල ලොව පුරා පතළ වී ඇති බැවින් ඔබ සියල්ලන් ගැන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මාගේ දෙවියන් වහන්සේට තුති පුද කරමි. ස්වකීය පුත්‍රයාණන්ගේ සුබ අස්න දේශනා කිරීමෙන් මා මුළු සිතින් සේවය කරන දෙවියන් වහන්සේ ම, මෙහි මා කියන දේ සත්‍ය බවට සාක්ෂි දරනු ඇත. මාගේ යාච්ඤාවල දී නිරන්තරයෙන් ඔබ ගැන සඳහන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ දැකගැන්මට ඊමේ අවස්ථාවක් සැලසෙන ලෙස මා නිතර ම අයැදින බව දෙවියන් වහන්සේ දන්නා සේක. ඔබ ධෛර්යවත් කරවන පිණිස යම්කිසි ආධ්‍යාත්මික ආශීර්වාදයක් හවුලේ භුක්ති විඳීමට ඔබ දැකගැනීමේ තද ආශාවක් මට ඇත. ඉන් මා අදහස් කරන්නේ, මාගේ ඇදහිල්ල නිසා ඔබ ද ඔබේ ඇදහිල්ල නිසා මා ද ශක්තිසම්පන්න වීම ය. මාගේ සහෝදරවරුනි, අන්‍ය ජාතීන් අතර මෙන් ඔබ අතරෙහිත් යම් ප්‍රතිඵලයක් අත්පත් කරගන්නා පිණිස, මම ඔබ වෙත ඊමට බොහෝ වර උත්සාහ දැරීමි. එහෙත් මේ වන තුරු එය සාර්ථක නො වූ බව ඔබට දන්වනු කැමැත්තෙමි. ග්‍රීකයන් හා අන්‍යයන් ද උගතුන් හා නූගතුන් ද සම්බන්ධයෙන් මට වගකීමක් ඇත. රෝමයෙහි වසන ඔබටත් සුබ අස්න දේශනා කිරීමෙහි දැඩි ආශාවක් මට ඇත්තේ ඒ නිසා ය.