එළිදරව්ව 21

21
අලුත් අහස සහ අලුත් පොළොව
1 # යෙසා 65:17; 66:22; 2 පේදු 3:13 ඉන්පසු මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද දිටිමි. පළමු අහසත් පළමු පොළොවත් පහ ව ගියේ ය. මුහුද ද තවත් නො වී ය. 2#යෙසා 52:1; 61:10; එළිද 3:12තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි. 3#ලෙවී 26:11,12; එසකි 37:27සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: “මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක. 4#යෙසා 25:8; 35:10; 65:19උන් වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිසදමන සේක. මරණය තවත් නැත. වැලපීම ද හැඬීම ද, වේදනාව ද තවත් නැත. ඒ පළමු පිළිවෙළ පහ ව ගිය බැවිනි.”
5එවිට සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේ කතා කොට, “බලව, මම සියල්ල අලුත් කරමි!”යි වදාළ සේක. උන් වහන්සේ තවදුරටත් කතා කොට, “ලියන්න, මන්ද, මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ම ය”යි වදාළ සේක. 6#යෙසා 55:1උන් වහන්සේ මට කතා කොට, “ඒවා ඉෂ්ට වී ඇත. මම අල්පා සහ ඔමෙගා ය. ආරම්භය සහ අවසානය ය. පිපාසය ඇත්තාට මම ජීවන දිය උල්පතෙන් නොමිලයේ බොන්නට දෙන්නෙමි. 7#2 සාමු 7:14; ගීතා 89:26-27ජයග්‍රාහකයාගේ උරුමය එය යි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේ ය. 8එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.
ස්වර්ගීය ජෙරුසලම
9අන්තිම වසංගත සතෙන් පිරුණ පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ, “එන්න, බැටළු පෝතකයාණන්ගේ බිරිඳවන මනාලිය ඔබට පෙන්වන්නෙමි”යි කී ය. 10#එසකි 40:2ආත්මයාණන්ගේ ආනුභාවයෙන් ඔහු මහ උස් කන්දකට මා ගෙන ගොස්, ශුද්ධ නගරය වූ ජෙරුසලම දේව තේජසින් විරාජමාන ව, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වී ය. 11ඒ නගරයේ දීප්තිය ඉතා අනර්ඝ මාණික්‍යයක් මෙන් එනම්, පළිඟු මෙන් විනිවිද පෙනෙන සූර්යකාන්ත ගලක් මෙන් විය. 12#එසකි 48:30-35වාසල් දොරටු දොළොසකින් යුත්, මහ උස් පවුරක් එය වටේ තිබිණි. ඒ දොරටු ළඟ දේව දූතයෝ දොළොස් දෙනෙක් වූ හ. ඒවා පිට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර දොළොසේ නාම ලියා තිබිණි. 13නැගෙනහිරින් දොරටු තුනක් ද උතුරෙන් දොරටු තුනක් ද දකුණෙන් දොරටු තුනක් ද බස්නාහිරෙන් දොරටු තුනක් ද විය. 14නුවර පවුරෙහි අත්තිවාරම් දොළොසක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ අපෝස්තුළුවරු දොළොස් දෙනාගේ නාම දොළොස ලියා තිබිණි. 15#එසකි 40:3මා සමඟ කතා කළ දේව දූතයාට නගරය ද එහි වාසල් දොරටු ද එහි පවුර ද මනින පිණිස රනින් කළ මිණුම් දණ්ඩක් තිබිණි. 16මේ නගරය සම චතුරශ්‍රයකි. එහි දිගත්, පළලත් එක සමාන ය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ ය. එය කිලෝමීටර් දෙ දහස් හාර සියයක් ය. එහි දිග, පළල හා උස එක සමාන ය. 17ඔහු එහි පවුර ද මැන්නේ ය. එය මීටර් හැටක් විය. දේව දූතයා මැන්නේ ඔහු භාවිත කළ සම්මත මිම්මෙනි. 18#යෙසා 54:11-12එහි පවුර සූර්යකාන්තවලින් ගොඩනඟා තිබුණේ ය. නගරය ද වීදුරු මෙන් පැහැදිලි ව පෙනෙන, පවිත්‍ර රනින් විය. 19නුවර පවුරේ අත්තිවාරම් වෛවර්ණ මැණික් ගලින් සරසා තිබිණි. පළමු වන අත්තිවාරම සූර්යකාන්ත ය. දෙවැන්න ඉන්ද්‍ර නීල මාණික්‍ය ය. තුන්වැන්න අගස්ති ය. සතරවැන්න මරකත ය. 20පස්වැන්න නඛ මාණික්‍ය ය. සවැන්න ලෝහිතංක ය. සත්වැන්න රන් කාන්ති ය. අටවැන්න වෛදූර්ය ය. නවවැන්න පුෂ්පරාග ය. දසවැන්න ගෝමේද ය. එකොළොස්වැන්න පද්ම රාග ය. දොළොස්වැන්න අඹතේස්ත ය. 21දොරටු දොළොස මුතු දොළොසකි. එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබිණි. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පිරිසිදු රන් ය.
22මම එහි දේව මාලිගාවක් නොදිටිමි. මන්ද, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේත්, බැටළු පෝතකයාණෝත් ඒ දේව මාලිගාව වූ සේක. 23#යෙසා 60:19-20දේව තේජසින් නුවර ආලෝක වූ බැවින් ද, බැටළු පෝතකයාණන් එහි පහන වන බැවින් ද එහි සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ බැබළීමක් අවශ්‍ය නැත. 24#යෙසා 60:3ජාතීහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනෙන්නාහු ය. 25#යෙසා 60:11එහි දොරටු දවාලේ විවෘතව ඇත. ඒවා කිසිසේත් වසනු නොලබන්නේ ය; මන්ද, එහි රාත්‍රියක් නොවන්නේ ය. 26ඔව්හු, ජාතීන්ගේ ගෞරවය හා ශ්‍රී විභූතිය ඊට ගෙනෙන්නෝ ය. 27#යෙසා 52:1; එසකි 44:9අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.

දැනට තෝරාගෙන ඇත:

එළිදරව්ව 21: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න