ගීතාවලිය 79:1-12

ගීතාවලිය 79:1-12 SNRV

අහෝ දෙවිඳුනි, මිසදිටුවෝ ඔබේ උරුමය ආක්‍රමණය කළෝ ය. ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය. ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය. ඔබේ සේවකයන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ට කෑමට දුන්නෝ ය. ඔබේ දැහැමියන්ගේ මාංසය මිහි පිට තිරිසනුන්ට කෑමට දුන්නෝ ය. ඔව්හු ඔවුන්ගේ ලේ ජෙරුසලම වටා ජලය මෙන් වැගිරෙවුවෝ ය. ඔවුන් වැළලීමට කිසිවෙක් නොසිටියෝ ය. අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු. අහෝ සමිඳුනි! ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද? සදහට ම ද? ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද? ඔබ නාඳුනන ජාතීන් පිට ඔබේ උදහස වැගිරෙවුව මැනව. ඔබේ නාමය කියා නොඅයදින රාජධානි පිට ද එසේ ම කළ මැනව. මන්ද, ඔව්හු ජාකොබ්ගේ පරපුර බිඳදැම්මෝ ය; ඔවුන්ගේ ගම්බිම් පාළු කොට දැම්මෝ ය. අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත. අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව. “ඔවුන්ගේ දෙවිඳාණෝ කොහේ දැ”යි මිසදිටු ජාතීන් අසන්නේ කුමට ද? ඔබේ සේවකයන්ගේ ලෙයට පළිගන්න බව මිසදිටු ජාතීන් අතර අපේ ඇස් ඉදිරියෙහි ම ප්‍රකාශ වේ වා! ඔබේ සිරකරුවන්ගේ කන්කෙඳිරිය ඔබ ඉදිරියට පැමිණේ වා! මරණයට නියම වූ අය ඔබේ මහිමයෙන් ආරක්ෂා වෙත් වා! අහෝ සමිඳුනි, අපේ අසල්වාසීන් ඔබට සමච්චල් කර ඇත. එය හත් ගුණයකින් ඔවුන් වෙත ම හැරෙවුව මැනව.