ගීතාවලිය 18:7-18

ගීතාවලිය 18:7-18 SNRV

එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක. එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි; මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය. එතුමාණෝ අහස නමාගෙන පහළ වූ සේක. එතුමාණන්ගේ පා යට ගන’ඳුර පැවතිණි. එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක; මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක. එතුමාණෝ අඳුර තමන්ට පොරෝනාවක් කරගත් සේක; වැහි වලා පටල තමන්ට මණ්ඩපයක් කරගත් සේක. එතුමාණන් වෙත වූ උද්දීප්තියෙන් ඝන වලාකුළු ද ගල් වැසි හා ගිනි අඟුරු ද නික්මිණි. සමිඳාණෝ අහස් කුසෙහි ගිගුරුම් දුන් සේක. මහෝත්තමයාණෝ සිය හඬ නික්මවූ සේක. එවිට ගල් වැසි හා ගිනි අඟුරු නික්මිණි. එතුමාණෝ සිය ඊතල විද සතුරන් දස දෙස යැවූ සේක; විදුලි සැර එවා ඔවුන් පරාජය කළ සේක. සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය. එතුමාණෝ ඉහළින් අත පොවා, මා අල්ලාගත් සේක; ගැඹුරු ජලධාරාවලින් මා ඇදගත් සේක. එතුමාණෝ මාගේ බලවත් සතුරන්ගෙන් ද එදිරිකාරයන්ගෙන් ද මා මුදාගත් සේක. එසේ කෙළේ, ඔවුන් මට වඩා බලසම්පන්න බැවිනි. මාගේ විපත්ති කාලයේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ; එහෙත්, සමිඳාණෝ මට සරණ වූ සේක.