හිතෝපදේශ 24:8-34
හිතෝපදේශ 24:8-34 SNRV
කොයි වේලෙත් හොර මැරකම් කිරීමේ අදහස ඇති මිනිස්සු “ඉහළ පෙළේ තක්කඩි”යයි කියනු ලබති. මෝඩයාගේ කොයි යෝජනාවත් පාපී ය. උඩඟු මිනිසා සෙසු අයට පිළිකුලකි. අර්බුදයක් ඉදිරියෙහි දුබල වන මිනිසා, සැබැවින් ම දුබල මිනිසෙකි. මරණයට ගෙනයනු ලබන අය මුදාගන්න; ඝාතනයට ගෙනයනු ලබන අය ගළවාගන්න. “මම මේ ගැන කිසිත් නොදනිමි”යි ඔබ කියතත්, යටි හිත විමසන දෙවි තුමාණෝ එය නොදකිත් ද? ඔබ පිරික්සා බලන උතුමා එය නොදන්නේ ද? එක එක මිනිසාගේ එක එක ක්රියාවට විපාක නොදෙන්නේ ද? මාගේ පුත්රය, මී පැණි ඇඟට ගුණ ය; කටට රස ය; එය පානය කරන්න. ඔබේ ජීවිතයට ප්රඥාව ද එසේ ම ය; එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි. ඔබේ පණ කෙන්ද නොකැඩී පවතියි. දැහැමියාගේ නිවස වටා නපුරෙකු මෙන් සැඟවී නොසිටින්න; ඔහුගේ වස්තුව කොල්ල නොකන්න. දැහැමියා සත් වරක් වැටුණත් ඔහු යළි නැඟිටියි; එහෙත් දුෂ්ටයා විපතට වැටුණොත් වැටුණා ම ය. ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්රීති නොවන්න. ඔබේ ඒ ප්රීතිය දක්නා සමිඳාණන් අසතුටු වනු ඇත. සිය උදහස සතුරා කෙරෙන් පහකරනු ඇත. නපුරන් ගැන නොකිපෙන්න; දුදනන් ආදර්ශයට නොගන්න. නපුරන්ට අනාගතයක් නැත; නිවී යන පහනක් මෙන් ඔවුන් පහවනු ඇත. මාගේ පුත්රය, සමිඳුන්ට ද රජුට ද ගරුබිය දක්වන්න; ඔවුන්ට විරුද්ධ ව කැරලි නොගසන්න. මන්ද, හිටිහැටියේ ඔවුන්ගෙන් විපත පැමිණෙනු ඇත. ඒ දෙදෙනාගෙන් එන විපත්තිය කවරෙක් දනිද් ද? මේවාත් ප්රාඥයින්ගේ කියමන් ය: අධිකරණයේ දී පක්ෂපාත ව ක්රියා කිරීම යුතු නැත. “වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත. ජාතීන් ඔහු හෙළා දකිනු ඇත. එහෙත් වැරදිකරුට දඬුවම දෙන අය කීර්තිය දිනාගනියි; ජනතාව ඔහුට සෙත් සිරි පතති. අවංක පිළිතුර සුහදතාවේ ලකුණකි. කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න. හේතුවක් නැති ව අසල්වැසියාට විරුද්ධ ව සාක්ෂි නොදෙන්න; ඔහු ගැන බොරු සාක්ෂි නොකියන්න. “ඔහු මට කළ දේ ම මමත් ඔහුට කරමි; ඔහු කළ දෙයට සෑහෙන පළියක් ගනිමි”යි නොකියන්න. මම අලසයාගේ කෙත ළඟින් ද අනුවණයාගේ මිදි වත්ත අසලින් ද ගියෙමි. එහි හැම තැන ම කටු පඳුරු වැවී තිබිණි, මුළු ඉඩම කහඹිලියාවලින් වල් බිහි වී තිබිණි, ගල් තාප්පය බිඳ වැටී තිබිණි. මම එය හොඳින් බලා, තේරුම්ගතිමි. මේ පාඩම ඉගෙනගතිමි: තව ටිකක් නිදාගන්න, ටිකක් සැතපෙන්න, අත් දෙක පොරවාගෙන නිකම් ඉන්න, එවිට ඔබ වෙත දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවි ගත් කෙනෙකු මෙන් ද පැමිණෙනු නියත ය.

