හිතෝපදේශ 24:17-34

හිතෝපදේශ 24:17-34 SNRV

ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. ඔබේ ඒ ප්‍රීතිය දක්නා සමිඳාණන් අසතුටු වනු ඇත. සිය උදහස සතුරා කෙරෙන් පහකරනු ඇත. නපුරන් ගැන නොකිපෙන්න; දුදනන් ආදර්ශයට නොගන්න. නපුරන්ට අනාගතයක් නැත; නිවී යන පහනක් මෙන් ඔවුන් පහවනු ඇත. මාගේ පුත්‍රය, සමිඳුන්ට ද රජුට ද ගරුබිය දක්වන්න; ඔවුන්ට විරුද්ධ ව කැරලි නොගසන්න. මන්ද, හිටිහැටියේ ඔවුන්ගෙන් විපත පැමිණෙනු ඇත. ඒ දෙදෙනාගෙන් එන විපත්තිය කවරෙක් දනිද් ද? මේවාත් ප්‍රාඥයින්ගේ කියමන් ය: අධිකරණයේ දී පක්ෂපාත ව ක්‍රියා කිරීම යුතු නැත. “වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත. ජාතීන් ඔහු හෙළා දකිනු ඇත. එහෙත් වැරදිකරුට දඬුවම දෙන අය කීර්තිය දිනාගනියි; ජනතාව ඔහුට සෙත් සිරි පතති. අවංක පිළිතුර සුහදතාවේ ලකුණකි. කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න. හේතුවක් නැති ව අසල්වැසියාට විරුද්ධ ව සාක්ෂි නොදෙන්න; ඔහු ගැන බොරු සාක්ෂි නොකියන්න. “ඔහු මට කළ දේ ම මමත් ඔහුට කරමි; ඔහු කළ දෙයට සෑහෙන පළියක් ගනිමි”යි නොකියන්න. මම අලසයාගේ කෙත ළඟින් ද අනුවණයාගේ මිදි වත්ත අසලින් ද ගියෙමි. එහි හැම තැන ම කටු පඳුරු වැවී තිබිණි, මුළු ඉඩම කහඹිලියාවලින් වල් බිහි වී තිබිණි, ගල් තාප්පය බිඳ වැටී තිබිණි. මම එය හොඳින් බලා, තේරුම්ගතිමි. මේ පාඩම ඉගෙනගතිමි: තව ටිකක් නිදාගන්න, ටිකක් සැතපෙන්න, අත් දෙක පොරවාගෙන නිකම් ඉන්න, එවිට ඔබ වෙත දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවි ගත් කෙනෙකු මෙන් ද පැමිණෙනු නියත ය.