හිතෝපදේශ 22

22
1ධන සම්භාරයට වඩා හොඳ නාමය ද රන් රිදීවලට වඩා ගෞරවය ද අගනේ ය.
2සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි.
3නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි.
එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.
4යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත.
5වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත;
සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි.
6දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි.
7පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති;
ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.
8අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි.
ඔහුගේ කටයුතුවල අවසානය විනාශය ය.
9කුලුණු ගුණෙන් දිළිඳුන් හට කෑම දෙන අය සෙත් සිරි ලබනු ඇත.
10අහංකාර මිනිසා දුරින් දුරු කරන්න;
එවිට තරඟය, විවාද හා අවලාද නවතිනු ඇත.
11සුමිහිරි බස රාජ ප්‍රසාදය දිනයි;
එහෙත් සමිඳුන් කැමැති නිර්මල සිත් ඇති අයට ය.
12සමිඳාණෝ මුසාවාදීන්ගේ වදන්හි අසත්‍යය පෙන්වන සේක;
සත්‍යය රැකීමට කරුණු යොදන සේක.
13“පිටත සිංහයෙක් සිටියි, වීදියට ගියොත් මා මැරෙනු ඇතැ”යි අලසයා කියයි.
14වෙසඟනකගේ කට ගැඹුරු වළක් වැන්න;
සමිඳුන්ගේ කෝපයට පාත්‍රවන්නෝ ඒ වළේ වැටෙති.
15ළාමක වැඩ කිරීම ළමයින්ගේ සහජ ගතියකි.
වේවැල භාවිතයෙන් එය දුරු කළ හැකි ය.
16කෙනෙක් දිළිඳුන් පෙළීමෙන් පොහොසත් වෙති.
පොහොසතුන්ට තෑගිබෝග දීමෙන් කෙනෙක් දිළිඳු වෙති.
ආප්තෝපදේශ තිහ
17මාගේ උපදේශයන්ට සවන් දෙන්න;
මාගේ අනුශාසනාවන්ට හිත යොමන්න.
18ඒවා සිතෙහි නිදන් කරගන්න;
කතාබහේ දී උපුටා දක්වන්න;
එවිට ප්‍රීතිය ඔබ සතු වනු ඇත.
19ඔබේ විශ්වාසය සමිඳුන් කෙරේ තබන්න;
මා අද පවසන මේ ඔවා බස් ඒ සඳහා ය.
20දැනුම හා නැණවත් උපදෙස් සහිත කියුම් තිහක් මම මෙහි ලියා තබමි.
21එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය.
ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි.
- 1 -
22දිළිඳා දිළිඳු නිසා ඔහුගෙන් අයුතු වාසියක් නොගන්න;
අසරණයා අසරණ නිසා උසාවියේ දී ඔහුට පීඩා නොකරන්න.
23මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
ඔවුන්ගෙන් පැහැරගන්න අයගෙන් පැහැරගනු ඇත.
- 2 -
24වහා කිපෙන අයෙකු සමඟ මිත්‍ර නොවන්න;
කෝපයෙන් පුපුරන කෙනෙකු ඇසුරු නොකරන්න.
25එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත.
ඔබ මලපතකට ද අසුවනු ඇත.
- 3 -
26උකස් දෙන්නන්ගේ ගණනට එකතු නොවන්න;
අන් කෙනෙකුගේ ණයතුරුස්වලට ඇප නොවන්න.
27ඇපය ගෙවීමට ඔබට නොහැකි වූවොත් ඔවුන් ඔබේ නිදන යහන පවා ගෙන යන්නට බැරි නැත.
- 4 -
28ඔබේ මුතුන්මිත්තන් පිහිටෙවූ පැරණි මායිම් ගල් කිසි විටෙක වෙනස් නොකරන්න.
- 5 -
29තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 22: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න