පිලිප්පි 1:1-15

පිලිප්පි 1:1-15 SNRV

ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු. අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා! මට ඔබ සිහි වන සෑම විට ම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි; මා යාච්ඤා කරන සෑම විට ම, ඔබ සියලු දෙනා උදෙසා යාච්ඤා කරමින් ප්‍රීතියෙන් පිරී සිටිමි. මා එසේ කරන්නේ පළමු දවස පටන් මේ වන තුරු ධර්මදූත සේවයට ඔබ සහභාගි වූ නිසා ය. ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි. ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්‍රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සෙනෙහසින් මා ඔබට සැබැවින් ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක. ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා. ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා. සහෝදරවරුනි, මට සිදු වූ කාරණා සුබ අස්නේ ම දියුණුවට හැරී තිබෙන බව ඔබට දන්වනු කැමැත්තෙමි. මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත. මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්‍රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති. සමහරු ඊර්ෂ්‍යාවෙන් හා විරුද්ධ වාදිකමින් ද සමහරු හොඳ සිතින් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.