ගණන් කථාව 4:1-20

ගණන් කථාව 4:1-20 SNRV

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “ලෙවීගේ පුතුන් අතරෙන් කොහාත්ගේ පරපුරට පැවතෙන්නන්ගේ පවුල් හා පිය පෙළපත් අනුව සංගණනයක් ගන්න. අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න. සම්මුඛ මණ්ඩපය තුළ මොවුන්ගේ සේවය නම්, එහි ඇති ශුද්ධ බඩු භාණ්ඩ ගැන වගකීම ය. “කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය. ඉන්පසු පදම් කළ සම් ආවරණය එය මත දමා, මේ සියල්ල මත නිල් පාට රෙද්දක් ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යන හරස් පොලු ඊට දැමිය යුතු වේ. “ඉන්පසු පිදුම් පූප තබන මේසය මත නිල්වන් රෙද්දක් අතුරා, ඒ පිට තැටි ද ධූම පාත්‍ර ද පිදීමේ පාත්‍ර ද කෙණ්ඩි ද තැබිය යුතු ය. පූප ද නිරන්තරයෙන් ඒ මත තිබෙන්නට හැරිය යුතු ය. පසුව මේවා පිට දම් පාට රෙද්දක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල වැසිය යුතු ය. මෙසේ කළ පසු මෙය උසුලාගෙන යෑමට හරස් පොලු දැමිය යුතු වේ. “තවද, ඔවුන් නිල්වන් රෙදි කඩක් ගෙන, පහන් රුක ද එහි සේවාවන්ට ගන්නා පහන් ද කතුරු ද ඒවායේ තැටි ද තෙල් බඳුන් ද වැසිය යුතු ය. මෙසේ කළ පසු පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල ඔතා මැස්ස පිට තැබිය යුතු වේ. “ඉන්පසු රන් පූජාසනය මත නිල්වන් රෙදි කඩක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් එය වසා, උසුලාගෙන යන හරස් පොලු එහි දැමිය යුතු ය. තවද, ශුද්ධස්ථානයේ සේවාවට භාවිත කෙරෙන බඳුන් සියල්ල ගෙන, ඒවා නිල්වන් රෙදි කඩකින් ඔතා, පදම් කළ සම් ආවරණයක් එය මත අතුරා, මේ සියල්ල මැස්ස උඩ තැබිය යුතු ය. පූජාසනයේ අළු ඉවත් කොට, එය මත දම් පාට රෙදි කඩක් ඇතිරිය යුතු ය. ඉන්පසු පූජාසනයේ මෙහෙයට භාවිත කරන සියලු ම භාණ්ඩ වන ධූම පාත්‍ර ද මස් කොකු ද හැඳි ද තලි ද එය මත තබා, පදම් කළ සම් ආවරණයක් මේ සියල්ල පිට ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යෑමට හරස් පොලු එහි දැමිය යුතු වේ. “මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ. “පූජක ආරොන්ගේ පුත්‍ර එලෙයාසර්ට පැවරෙන වගකීම පහනට උවමනා තෙල් ද සුවඳ ද්‍රව්‍ය ද දිනපතා පුදන ධාන්‍ය පූජාව සහ ආලේප තෛලය ද බලාගැනීමත්, කූඩාරම මුළුමනින් ම ද ශුද්ධස්ථානයේ ඇති සියල්ල හා එහි බඩු භාණ්ඩ ද බලාගැනීමත් වනු ඇත.” නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ලෙවීවරුන් අතරෙන් කොහාත්ගේ ගෝත්‍රයේ දරුපරපුර පහ නොකරන්න. ඔවුන් අතිශුද්ධ බඩු භාණ්ඩවලට ළඟා වන විට නොමැරී, ජීවත් වනු පිණිස ඔවුන් ගැන කලින් කී පරිදි ක්‍රියා කරන්න. ආරොන් හා ඔහුගේ පුත්‍රයන් ඇතුළු වී, කොහාත්ගේ ගෝත්‍රයේ සෑම කෙනෙකුට ම පැවරෙන සේවාව හා වගකීමට ඔවුන් පත් කළ යුතු ය. එහෙත්, ඔවුන් මොහොතකට වත් අතිශුද්ධ බඩු භාණ්ඩ බැලීමට ඇතුළු නොවිය යුතු ය. එසේ බැලුවොත් ඔවුන් මැරෙනු ඇතැ”යි වදාළ සේක.

ගණන් කථාව 4:1-20 සඳහා වීඩියෝව