ගණන් කථාව 15:25-33

ගණන් කථාව 15:25-33 SNRV

මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. මුළු සෙනඟගේ නොදැනුවත්කමින් වූ නිසා මුළු ඉශ්රායෙල් ජනතාවගේ ද, ඔවුන් අතර වසන විදේශිකයන්ගේ ද පව් කමා කරනු ලැබේ. ‘යමෙකු නොදැනුවත්කමින් පව් කළොත්, එවැන්නෙකු පාප පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති එළුදෙනක ගෙනා යුතු ය. මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ. නොදැනුවත්කමින් වන පව් පිළිබඳ ව මවුබිම උපන් ඉශ්රායෙල් ජනයාටත්, ඔවුන් අතර කලකට වසන විදෙශිකයන්ටත් එක ම නීතියක් වලංගු වනු ඇත. ‘ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම්, එවැන්නෙකු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ. ඔහු සමිඳාණන් වහන්සේගේ වචනය හෙළා දැක, උන් වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, එවැන්නෙකු සහමුලින් ම නෙරපාදමනු ඇත. ඔහුගේ දුෂ්ටකම ගැන ඔහු ම වගකිව යුතු ය.’ ” ඉශ්රායෙල් ජනයා පාළුකරයේ සිටිය දී, සබත් දින දර එකතු කළ මිනිසෙක් ඔවුන්ට සම්බ විය. එවිට ඔව්හු මෝසෙස් සහ ආරොන් ඇතුළු ජනතාව ඉදිරියට ඒ මිනිසා ගෙනාවෝ ය.