ගණන් කථාව 11:1-15

ගණන් කථාව 11:1-15 SNRV

සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය. එවිට සෙනඟ මෝසෙස්ට මොරගෑ හ. ඔහු සමිඳාණන් වහන්සේ අයැදි කල, ගින්න නිවී ගියේ ය. උන් වහන්සේ එවූ ගින්න ඔවුන් දවාලූ නිසා එම ස්ථානයට ඔහු තබේරා කියා නම් තැබී ය. ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, “අපට කෑමට මස් දෙන්නේ කවුරු ද? අප මිසර දේශයේ දී නොමිලේ කෑ මාලු ද පිපිඤ්ඤ, කොමඩු, ලීක්ස්, රතු ලූනු හා සුදු ලූනු ද අපට මතක ය. දැන් නම් අපි හෙම්බත් වී සිටිමු. අපේ ඇහැට පේන මන්නා ආහාරය හැර වෙන කිසිවක් අපට නැතැ”යි කීවෝ ය. මන්නා, කොත්තමල්ලි ඇට මෙන් විය. එහි පැහැය සුවඳලාටු මෙන් විය. සෙනඟ ඔබමොබ ගොස් ඒවා රැස් කොට, ගලෙන් අඹරා හෝ වංගෙඩියේ ලා කොටා හෝ බඳුන්වල පිළියෙළ කොට රොටි සෑදූ හ. එහි පිරිසිදු තෙලින් බැදූ පූපවල මෙන් රහක් තිබිණි. රාත්‍රියේ දී කඳවුර මත පිණි වැටුණු විට, එය සමඟ මන්නා වැටිණි. සෙනඟ ද පවුල් වශයෙන්, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට හඬනු මෝසෙස්ට ඇසිණි. සමිඳාණන් වහන්සේගේ කෝපය ද ඉමහත් ලෙස දැල්විණි. මෝසෙස් දුකට පත් විය. ඔහු සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ සේවකයාට ඔබ පීඩා කරන්නේ මන් ද? ඔබට මා අප්‍රසන්න වී ඇත්තේ කුමන හේතුවකින් ද? මේ මුළු සෙනඟ ගැන වගකීම ඔබ මට පවරා තිබෙන්නේ ඇයි? මම මේ මුළු සෙනඟ පිළිසිඳ නොගත්තෙමි. ‘ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට, කිරි මවක කිරි බොන දරුවෙකු උසුලාගෙන යන ලෙස, ඔවුන් ඔබේ තුරුල්ලේ රැගෙන යන්න’ කියා ඔබ මට කීමට ඇත්තෙන් ම ඔවුන් ජනිත කෙළේ මම ද? මේ මුළු සෙනඟට මා මස් කොහෙන් සොයා ගෙනැවිත් කන්න දෙන්න ද? ‘අපට කන්නට මස් දෙන්නැ’යි කියා ඔව්හු මා ළඟ හඬමින් සිටිති. මුළු සෙනඟ ගැන වගකීම මට තනි ව දැරීමට බැරි ය. ඔබ මට මෙසේ කරන්නෙහි නම්, කරුණාකර, මා මරාදමනු මැනවි. එවිට මගේ කාලකණ්ණිකම මට ම නොපෙනී යනු ඇතැ”යි කීවේ ය.

මෙයට අදාළ වීඩියෝ

ගණන් කථාව 11:1-15 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය