නෙහෙමියා 4:7-13

නෙහෙමියා 4:7-13 SNRV

ජෙරුසලමේ පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ ඉෂ්ට වන බවත්, එහි කැඩුම්බිඳුම් හරිගස්සාගෙන යන බවත් අසා, සන්බලට් ද ටෝබියා ද අරාබිවරු ද අම්මොන්වරු ද අෂ්දොද්වරු ද ඉතා කෝපාවිෂ්ට වූ හ. ඔව්හු සියල්ලෝ ම ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්නට එක් ව කුමන්ත්‍රණය කළෝ ය. එහෙත්, අපි අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කර, ඔවුන්ගෙන් ආරක්ෂා වන පිණිස රෑ දාවල් දෙක්හි මුර තැබීමු. ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ. අපේ එදිරිකාරයෝ කතා කොට, “ඔවුන් දැනගන්නට වත්, කිසිවක් දකින්නට වත් පෙර, අපි ඔවුන් පිට කඩා පැන, ඔවුන් මරාදමා ඔවුන්ගේ වැඩ නවත්වන්නෙමු”යි කී හ. තවද, ඔවුන් අතර විසූ ජුදෙව්වරු පැමිණ, “ඔවුන්, ජීවත් ව සිටින සියලු තැන්වලින් අවුත්, අප පිට කඩා පනිනු ඇතැ”යි කීප වරක් ම අපට කී හ. ඒ නිසා මම පවුරට පිටුපසින් තිබූ පහත් එළිමහන් ඉඩම්වල තමන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත්, හෙල්ලත්, දුනුත් ඇති ව සෙනඟ සිටෙවුවෙමි.