නෙහෙමියා 4:14-23
නෙහෙමියා 4:14-23 SNRV
මම කරුණු විමසා බලා නැඟිට, නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න. බියජනක ශ්‍රේෂ්ඨ සමිඳාණන් වහන්සේ සිහි කරමින්, ඔබේ ඥාතීන් ද පුත්‍රයන් ද දූවරුන් ද භාර්යාවන් ද ගෙවල් ද උදෙසා සටන් කරන්නැ”යි කීවෙමි. තවද, අප ඒ දේ දැනගත් බව ද දෙවියන් වහන්සේ ඔවුන්ගේ මන්ත්‍රණය ව්‍යර්ථ කළ බව ද අපේ සතුරන්ට ආරංචි වූ කල, අපි සියල්ලෝ ම එකිනෙකා තම තමාගේ වැඩ කිරීමට පවුරට ආපසු ගියෙමු. එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩවල යෙදී සිටියෝ ය. කොටසක් හෙල්ල ද පලිස් ද දුනු ද යුද්ධ සැට්ට ද රැගෙන සිටියෝ ය. අධිපතියෝ ද පවුර ගොඩනැඟීම කළ මුළු ජුදා සෙනඟගේ වැඩ පරිපාලනය කළෝ ය. බර උසුලාගෙන යන අය එක අතකින් වැඩ කරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියෝ ය. ගොඩනඟන අය ද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගෙන ගොඩනැඟුවෝ ය. හොරණෑ පිඹින්නා මා ළඟ සිටියේ ය. මම නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, “මෙය ඉතා වැදගත් විශාල වැඩකි. අපි පවුර පිට විසිරී එකිනෙකාගෙන් දුරස්තර ව සිටිමු. යම් තැනකින් ඔබට හොරණෑ ශබ්දය ඇසේ ද, එතැන සිට අප ළඟට රැස් වන්න. අපේ දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ”යි කීමි. මෙසේ අපි වැඩෙහි නියුක්ත ව සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තාරකා පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝ ය. එකල මම සෙනඟට තවදුරටත් කතා කොට, “රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත්, දවල් වැඩ කරන පිණිසත් එක එකා තම තමාගේ මෙහෙකරුවා සමඟ ජෙරුසලමෙහි රාත්‍රිය ගත කෙරේවා”යි කීවෙමි. මාගේ ඥාතීහු වත්, මාගේ සේවකයෝ වත්, මා කැටුව පැමිණි රැකවල්ලු වත්, මම වත් ඇඳුම් නොගැලෙව්වෙමු. එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව සිටියෝ ය.

