ශුද්ධවර මාක් 5:36-42

ශුද්ධවර මාක් 5:36-42 SNRV

එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, “බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජාකොබ්ගේ සහෝදර වූ ජොහන් ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ එන්න ඉඩ නුදුන් සේක. ඔව්හු ධර්මශාලා නායකයාගේ නිවෙසට පැමිණියෝ ය. එවිට උන් වහන්සේ කලබලයක් ද විලාප හා ළතෝනි නඟන්නන් ද දැක, ගෙට පිවිස, “ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන් ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය”යි ඔවුන්ට වදාළ සේක. එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. එහෙත්, උන් වහන්සේ සියල්ලන් බැහැර කොට, දරුවාගේ පියා ද මව ද තමන් සමඟ සිටියවුන් ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස් ඇය අතින් අල්ලා, “තලිතාකුමි”යි ඈට වදාළ සේක. එහි අර්ථය: “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය. දොළොස් හැවිරිදි ඒ දැරිය, එකෙණෙහි ම නැඟිට ඇවිද්දා ය. ඔව්හු ද ඉමහත් විස්මයකින් භ්‍රාන්ත වූ හ.