ශුද්ධවර මාක් 14:32-47
ශුද්ධවර මාක් 14:32-47 SNRV
ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, “මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක. උන් වහන්සේ ඔවුන් අමතා, “මැරෙණ තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූල ය; මෙහි නැවතී අවදි ව සිටින්න” කියා, මඳක් පෙරට ගොස් මුණින්තලා වී, හැකි නම්, ඒ පැය තමන් කෙරෙන් පහ ව යන ලෙස යාච්ඤා කරමින්, “අබ්බා, පියාණෙනි, ඔබට සියල්ලක් ම හැකි ය; මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත වේ වා”යි වදාළ සේක. පසුව උන් වහන්සේ අවුත්, ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරු අමතා, “සීමොන් ඔබ නිදි ද? පැයක් වත් අවදි ව ඉන්න ඔබට නොහැකි වූයේ ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක. උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක. ඉන්පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. උන් වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැ යි ඔව්හු නොදත්හ. උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, “තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක; නැඟිටින්න; අපි යමු; මෙන්න මා පාවා දෙන්නා ළඟ ම ය”යි වදාළ සේක. ජේසුස් වහන්සේ කතා කරමින් සිටිය දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ද ඔහු කැටුව නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් විසින් එවන ලද සමූහයක් ද කඩු මුගුරු රැගෙන ආහ. “මම යමෙකු සිඹිම් ද ඒ ඔබ සොයන තැනැත්තා ය. ඔහු අල්ලා පරෙස්සමින් ගෙන යන්න” කියා උන් වහන්සේ පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණි. ජූදස් අවුත් වහා ම උන් වහන්සේ වෙත ගොස්, “රබ්බී” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. ඔව්හු උන් වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්හ. ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය.

