ශුද්ධවර මාක් 13:1-11

ශුද්ධවර මාක් 13:1-11 SNRV

උන් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක්, “ගුරුදේවයෙනි, බලන්න! මොන තරම් විශාල ගල් ද, මොන තරම් විශාල ගොඩනැඟිලි දැ!”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ ඔහු අමතා, “මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේ ද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ ය”යි වදාළ සේක. උන් වහන්සේ දේව මාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරු ද ජාකොබ් ද ජොහන් ද ඇන්ඩෘ ද පෞද්ගලික ව උන් වහන්සේට කතා කොට, “මේ දේ කවදා සිදුවනු ඇද් ද? ඒ සියල්ල ඉෂ්ට වන්න යන කල කුමන ලකුණක් ඇති වේ දැ යි අපට කිව මැනවැ”යි කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන්ගෙන මෙසේ වදාළ සේක: “කිසිවෙකු ඔබ මුළා නොකරන හැටියට බලාගන්න. බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘මම එතුමා ය’ කියා බොහෝ දෙන මුළා කරන්නාහ. යුද්ධ ගැන ද යුද්ධ පිළිබඳ දූසමාන ආරංචි ද ඔබ අසන කල සන්ත්‍රාසයට පත් නොවන්න. මේ දේවල් සිදුවනු ඒකාන්ත ය. එහෙත් අවසානය තව ම නැත. මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය. “එහෙත් පරෙස්සම් වන්න. ඔවුන් උසාවිවලට ඔබ පාවා දෙනු ඇත. ධර්මශාලාවලට ගෙනවුත් ඔබට තළනු ඇත. ඔබ මා නිසා, ආණ්ඩුකාරයන් ද රජුන් ද අබිමුවෙහි, ඔවුන්ට සාක්ෂි වන පිණිස පෙනී සිටිනු ඇත. පළමු කොට සියලු ජාතීන් හට සුබ අස්න දේශනා කළ යුතු ය. ඔවුන් ඔබ පාවා දෙන්න ගෙන යන කල කුමක් කියන්න දැ යි කල් තියා කරදර නොවන්න. ඒ පැයේ දී ම ඔබට දෙනු ලබන දෙය කියන්න. මන්ද, කතා කරන්නේ ඔබ නොව ශුද්ධාත්මයාණන් වහන්සේ ය.