මීකා 1:1-9
මීකා 1:1-9 SNRV
ජෝතාම්, ආහාස් හා හෙසකියා ජුදාහි රජකම් කරන කාලයේ දී, සමාරිය හා ජෙරුසලම සම්බන්ධ ව දර්ශන මඟින් මෝරෙෂෙත්හි මීකාට සමිඳාණන් වහන්සේ ප්‍රකාශ කළ පණිවුඩය මෙය වේ: සියලු ජනයෙනි, මෙයට සවන් දෙන්න, පොළොව හා එහි ඇති සියල්ලෙනි, මෙයට ඇහුම්කන් දෙන්න. දෙවි සමිඳාණෝ සිය ශුද්ධ මාලිගාවේ සිට ඔබට විරුද්ධ ව සාක්ෂි දෙන සේක. බලන්න, සමිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් පිටත් වී, බැස අවුත් පොළොවේ කඳු මුදුනෙහි සක්මන් කරන සේක. එසේ සක්මන් කරන විට, ගින්න ඉදිරියෙහි ඉටි මෙන් කඳු දිය වී ගොස්, කඳු බෑවුමකින් ගලා බසින වතුර මෙන් මිටියාවත් කැඩී බිඳී යන්නේ ය. මේ සියල්ල සිදු වන්නේ, ජාකොබ් සෙනඟගේ අපරාධ හා ඉශ්රායෙල් වංශයේ පාප නිසා ය. ජාකොබ්ගේ අපරාධය කුමක් ද? සමාරිය නොවේ ද? ජුදාහි සෙනඟගේ ගිරිකුළු දේවාල මොනවා ද? ජෙරුසලම නොවේ ද? “එබැවින් මම සමාරිය නටබුන් රටක් කරන්නෙමි. එය සුදුසු වන්නේ මිදි වගාවට පමණි. මම ඒ නගරයේ ගල්, මිටියාවතට හෙළා දමා එහි අත්තිවාරම මතු කර දක්වන්නෙමි. එහි ඇති සියලු කැපූ රූප සුණු විසුණු කරනු ලැබේ. ඔවුන් සම්බ කරන සියල්ල ගින්නෙන් විනාශ කරනු ලැබේ. දේව රූප සුන්බුන් කරනු ලැබේ. මන්ද, ඒවා වේශ්‍යාකමට අය කළ ගාස්තුවෙන් රැස් කරගනු ලැබී ය. වේශ්‍යාකමේ පණයම් ගෙවීමට එය නැවත වැය වන්නේ ය. “මේ නිසා මම හඬා වැලපෙන්නෙමි; පාවහන් වත්, ඇඳුම් වත් නැති ව යන්නෙමි; සිවලුන් මෙන් විලාප නඟන්නෙමි; පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි. මන්ද, සමාරියේ තුවාළ අසාධ්‍ය ව තිබේ. ජුදාවටත් ඒ දේ සිදු විය. මාගේ සෙනඟගේ දොරටුව වන ජෙරුසලම දක්වා එම විනාශය ළං වී ඇත.”

