ශුද්ධවර මතෙව් 9:2-17

ශුද්ධවර මතෙව් 9:2-17 SNRV

එවිට, අංසබාග රෝගියෙක් උන් වහන්සේ ළඟට යහනක තබා ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, “පුත්‍රය, ධෛර්යවත් වන්න; ඔබේ පව් කමා කරන ලද්දේ ය”යි අංසබාග රෝගියාට වදාළ සේක. එකල විනයධරයන්ගෙන් ඇතැමෙක්, “මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ ය”යි තමන්ට ම කියාගත්හ. ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, “කුමක් නිසා නපුරු දේ සිතන්නහු ද? වඩා පහසු කුමක් ද? ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඇවිදින්නැ’යි කීම ද? එහෙත්, පොළොවෙහි දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට තිබෙන බව ඔබට පෙන්වා දෙමි”යි කියමින්, “නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ”යි අංසබාග රෝගියාට වදාළ සේක. එවිට ඔහු නැඟිට ගෙදර ගියේ ය. සමූහයා ඒ දැක බිය වී, එබඳු බලය මිනිසුන්ට දුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. තවද, ජේසුස් වහන්සේ ඔහුගේ නිවෙසහි වැඩහුන් කල, බොහෝ අයකැමියෝ ද පව්කාරයෝ ද අවුත් උන් වහන්සේ සහ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. පරිසිවරු ඒ දැක, “ඔබේ ඇදුරු තුමා අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කෑම කන්නේ මන්දැ”යි උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූ හ. උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. ‘මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි’යි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම්ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට ය”යි වදාළ සේක. එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, “පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත. “තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ. නව මිදියුස පරණ බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. වත් කළොත්, බඳුන පැළී, මිදියුස ඉහිරී, බඳුනුත් නාස්ති වන්නේ ය. එසේ නොව, ඔව්හු නව මිදියුස නව බඳුන්වල වත් කරති; එවිට ඒ දෙක ම ආරක්ෂා වේ.”

ශුද්ධවර මතෙව් 9:2-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය