ශුද්ධවර මතෙව් 5:1-20

ශුද්ධවර මතෙව් 5:1-20 SNRV

ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක: “සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය. මොළොක් ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය; දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය; මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය; ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.” “ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත. “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.” “මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය. මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.”

ශුද්ධවර මතෙව් 5:1-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය